එස්තර් 1

1
වස්තී බිසවගේ අකීකරුකම සහ පහකරනු ලැබීම
1තවද ඉන්දියාව පටන් කූෂ් දක්වා රටවල් එකසිය විසිහතක් කෙරෙහි රජකම්කළ අහෂ්වේරොෂ්ගේ දවස්වලදී මෙසේ සිද්ධවිය. 2අහෂ්වේරොෂ් රජුගේ රජකම්කිරීමේ තුන්වෙනි අවුරුද්දේ ඔහු ෂූෂන් බලකොටුවේ තිබුණ තමාගේ රාජ්‍යයේ සිංහාසනයෙහි වැඩහුන් දවස්වලදී, 3තමාගේ සියලු අධිපතීන්ද සේවකයන්ද වන පාර්සියාවේ සහ මේදියාවේ සේනාධිපතීන්ටද රටවල උත්තමයන්ටද අධිපතීන්ටද තමා ඉදිරියෙහි මංගල්‍ය කෑමක් දුන්නේය. 4එකල්හි ඔහු තමාගේ රාජ්‍යයේ උතුම් වස්තුද තමාගේ මහිමශ්‍රීයේ අනර්ඝතාවද බොහෝ දවස් එනම් දවස් එකසිය අසූවක් පෙන්නුවේය. 5ඒ දවස් පසුවුණ විට රජතෙමේ ෂූෂන් බලකොටුවේ සිටි ලොකු කුඩා සියලු සෙනඟට රජමාලිගාවේ උයනේ මළුවෙහි සත් දවසක් මංගල්‍ය කෑමක් දුන්නේය. 6එහි සුදු පාටද කොළ පාටද නිල් පාටද ඇති තිර සිහින් හණ ලනුවලිනුත් රත්නිල් ලනුවලිනුත් රිදී මුදුවලින් සුදුගල් කුළුනුවලට බැඳ තිබුණේය. රතු සුදු කහ කළු යන පාට ඇති ගල් අල්ලාපු බිමක් පිට රන් රිදී යහන් වූහ. 7බොන්ට දුන්නේ රන් කුසලාන්වලින්ය. කුසලාන්ද එකිනෙකට වෙනස්ව තිබුණේය. රාජ මුද්‍රිකපානය රජුගේ ත්‍යාගවත්කම ලෙස බොහෝසෙයින්ම තිබුණේය. 8බොන්ට යෙදුණේ නියෝගය ලෙසය; කිසිවෙකුට බලාත්කාරකළේ නැත. මක්නිසාද එක එක මනුෂ්‍යයාගේ ප්‍රසන්නකමේ හැටියට කරන ලෙස රජු විසින් තමාගේ ගෙයි සියලු මුලාදෑනීන්ට නියමකර තිබුණේය. 9වස්තී බිසවද අහෂ්වේරොෂ් රජුට අයිති මාලිගාවේදී ස්ත්‍රීන්ට මංගල්‍ය කෑමක් දුන්නාය. 10සත්වෙනිදා රජුගේ සිත මුද්‍රිකපානයෙන් පිනාගිය විට, වස්තී බිසව පෙනීමට ඉතා ලක්ෂණ නිසා ඇගේ අලංකාරකම ජනයන්ටත් අධිපතීන්ටත් පෙන්වන පිණිස, 11ඈට ඔටුන්න පළඳවා රජු ඉදිරිපිටට කැඳවාගෙන එන්ට අහෂ්වේරොෂ් රජ තමා ඉදිරියෙහි සේවයකළාවූ මෙහූමාන්ද බිස්තාද හර්බෝනාද බිග්තාද අබග්තාද සේතර්ද කර්කස්ද යන නපුංසකයන් සත්දෙනාට අණකෙළේය. 12නුමුත් නපුංසකයන් අත රජු කියා ඇරිය අණට එන්ට වස්තී බිසව අකැමැතිවූවාය. එබැවින් රජ ඉතා උදහස්වී, ඔහුගේ කෝපය ඔහු තුළ ඇවුළුණේය. 13එවිට රජ කාලයන් දන්නාවූ ප්‍රඥාවන්තයන්ට කථාකොට: අහෂ්වේරොෂ් රජ නපුංසකයන් අත කියා ඇරිය ආඥාව වස්තී බිසව ඉෂ්ටනොකළ බැවින් නීතිය ප්‍රකාරයට ඈට මක්කළයුතුදැයි ඇසුවේය. 14මක්නිසාද රජුගේ කාරණා නීතියත් විනිශ්චයත් දන්න සියල්ලන් ඉදිරියට පමුණුවන සිරිතක් තිබුණේය. 15ඔහු ළඟම සිටියේ රජුගේ මුහුණ දැක රාජ්‍යයේ ප්‍රධාන ස්ථානයෙහි ඉඳගත්තාවූ, පාර්සියාවේද මේදියාවේද අධිපතීන් සත්දෙනාවන කර්ෂෙනා, ෂේතාර්, අද්මාතා, තර්ෂිෂ්, මෙරෙස්, මර්සෙනා සහ මෙමූකාන්ය. 16මෙමූකාන් රජු සහ අධිපතීන් ඉදිරියෙහි උත්තරදෙමින්: වස්තී බිසව රජුට පමණක් නොව සියලු අධිපතීන්ටත් අහෂ්වේරොෂ් රජුගේ සියලු රටවල සිටින සියලුම ජාතීන්ටත් වරදක් කළාය. 17මක්නිසාද බිසවගේ මේ ක්‍රියාව සියලු ස්ත්‍රීන්ට සැලවුණාම: අහෂ්වේරොෂ් රජ තමා ඉදිරියට වස්තී බිසව කැඳවාගෙන එන්ට අණකළ නුමුත් ඈ ආවේ නැතැයි ඔවුන් කියා තමුන්ගේ පුරුෂයන් සුළුකොට සිතනවා ඇත. 18පාර්සියාවේද මේදියාවේද වංශවත් ස්ත්‍රීන්ට බිසවගේ ක්‍රියාව ගැන සැලවුණාම රජුගේ සියලු අධිපතීන්ට අද දවසේදී එසේම කියනවා ඇත. එයින් සුළුකම්කිරීමද උදහසද බොහෝසෙයින් හටගන්නවා ඇත. 19රජ්ජුරුවන් සතුටු නම් වස්තී තවත් අහෂ්වේරොෂ් රජු ඉදිරියට නොඑන ලෙස රජ්ජුරුවන්ගෙන් රාජ ආඥාවක් පතළ වෙන්ටත්, එය වෙනස් නොවන පිණිස පාර්සිවරුන්ගේද මේදවරුන්ගේද ව්‍යවස්ථා අතරෙහි ලියා තබන්ටත් යෙදේවා; ඇගේ බිසෝකමද ඈට වඩා හොඳ තැනැත්තියකට රජ්ජුරුවන් විසින් දෙනු ලැබේවා. 20රජු විශාලවූ ස්වකීය රාජ්‍යය මුළුල්ලෙහි පනවන නියෝගය ඇසූ කල්හි සියලුම භාර්යාවන් ලොකු කුඩාවූ තම තමුන්ගේ පුරුෂයන්ට ගෞරව දෙනවා ඇතැයි කීවෝය. 21ඒ කීමට රජද අධිපතීහුද ප්‍රසන්නවූහ; රජ මෙමූකාන්ගේ කීම ලෙස කරමින්, 22එක එක පුරුෂයා විසින් තම තමාගේ ගෙදර ආණ්ඩුකරන හැටියටද, තමාගේ සෙනඟගේ භාෂාවෙන් එය ප්‍රකාශකරන හැටියටද, එක එක රටේ අකුරුවලිනුත් එක එක සෙනඟගේ භාෂාවෙනුත් ලියුම් ලියා ඇරියේය.

දැනට තෝරාගෙන ඇත:

එස්තර් 1: SROV

සළකුණු කරන්න

බෙදාගන්න

පිටපත් කරන්න

None

ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න