දානියෙල් 6:13-18

දානියෙල් 6:13-18 SROV

එවිට ඔව්හු රජු ඉදිරියේ උත්තරදෙමින්; රජ්ජුරුවෙනි, යූදාරටෙන් අල්ලාගන ආ තැනැත්තන්ගෙන් එක්කෙනෙක්වූ දානියෙල් ඔබ සහ ඔබ විසින් අත්සන්කළ තහනම නොසලකා, දවසට තුන්වරක් තමාගේ යාච්ඤාව ඔප්පුකරන්නේයයි කීවෝය. රජ මේ වචන ඇසූ කල ඉතා අමනාපවී, දානියෙල් ගළවන්ට තමාගේ සිත ඔහු කෙරෙහි තබා, ඔහු නිදහස්කරන්ට ඉර බසින තුරු උත්සාහකෙළේය. එකල ඒ මනුෂ්‍යයෝ රජු වෙතට වැඳ: රජ්ජුරුවෙනි, රජු විසින් නියමකරන කිසි තහනමක්වත් නියෝගයක්වත් වෙනස් නොකරන හැටියට මේදවරුන්ගේද පර්සිවරුන්ගේද පනතක් තිබෙන බව දැනගත මැනවැයි රජුට කීවෝය. එවිට රජුගේ ආඥාව පිට දානියෙල් ගෙනැවිත්, සිංහ ගුහාවේ දැමුවෝය. රජ දානියෙල්ට කථාකොට: නුඹ නොකඩවම සේවය කරන නුඹේ දෙවියන්වහන්සේ නුඹ ගළවනසේක්වයි කීවේය. තවද ගලක් ගෙනැවිත් ගුහාවේ කටේ තබනලද්දේය; දානියෙල් ගැන නියමය වෙනස්නොවන පිණිස රජ තමාගේ මුද්‍රයෙන්ද තමාගේ උත්තමයන්ගේ මුද්‍රයෙන්ද ඒක මුද්‍රකෙළේය. එකල රජ තමාගේ මාළිගාවට ගොස්, නිරාහාරයෙන් රාත්‍රිය පසුකෙළේය. තූර්යභාණ්ඩ ඔහු ඉදිරියට නොගෙනාවෝය. ඔහුගේ නින්දත් ඔහුගෙන් පහවගියේය.