දානියෙල් 6:1-13
දානියෙල් 6:1-13 SROV
මුළු රාජ්‍යයෙහි සිටීම පිණිස රාජ්‍යය කෙරෙහි දිසාපතීන් එකසිය විසි දෙනෙක්ද, රජුට අලාභ නොපැමිණෙන පිණිස ඒ දිසාපතීන්ගෙන් ගණන්ගැනීමට ඔවුන් කෙරෙහි අමාත්‍යයන් තුන්දෙනෙක්ද පත්කිරීමට දාරියුස් සතුටුවිය; ඒ තුන්දෙනාගෙන් දානියෙල් එක්කෙනෙක්ය. එකල මෙම දානියෙල් තුළෙහි උතුම් ආත්මයක් තිබුණු නිසා, ඔහු අමාත්‍යයන්ටත් දිසාපතීන්ටත් වඩා උතුම්විය; රජතෙමේ මුළු රාජ්‍යය කෙරෙහි ඔහු පත්කරන්ට සිතුවේය. එකල අමාත්‍යයෝද දිසාපතීහුද රාජ්‍යය ගැන දානියෙල්ට විරුද්ධව කාරණයක් අල්ලාගන්ට සෙවුවෝය; නුමුත් කාරණයක්වත් දෝෂයක්වත් අල්ලාගන්ට ඔවුන්ට නොහැකිවිය; මක්නිසාද ඔහු විශ්වාසව සිටියේය, ඔහුගේ කිසි වරදක්වත් දෝෂයක්වත් සම්බ නොවීය. එවිට ඒ මනුෂ්‍යයෝ: ඒ දානියෙල්ගේ දෙවියන්වහන්සේගේ ව්‍යවස්ථාව ගැන ඔහුට විරුද්ධව කාරණයක් අල්ලාගත්තොත් මිස නැත්නම් ඔහුට විරුද්ධව කාරණයක් අපට සම්බ නොවන්නේයයි කීවෝය. එකල ඒ අමාත්‍යයෝද දිසාපතීහුද රජු වෙතට රැස්ව ඔහුට කථාකොට: දාරියුස් රජ්ජුරුවෝ සදාකාලයටම ජීවත්වේවා. රජ්ජුරුවෙනි, කවුරුනුමුත් තිස් දවසක් යන තුරු ඔබගෙන් මිස යම් දෙවි කෙනෙකුගෙන්වත් මනුෂ්‍යයෙකුගෙන්වත් කිසියම් අයදුමක් කළොත්, ඔහු සිංහ ගුහාවේ දමනු ලැබේය කියා රාජ පනතක් පනවා, ස්ථිර තහනමක් පිහිටුවන්ට රාජ්‍යයේ සියලු අමාත්‍යයෝද අධිපතිවරුද දිසාපතීහුද මන්ත්‍රීවරුද ආණ්ඩුකාරයෝද මන්ත්‍රණයකරගත්තෝය. ඉතින් රජ්ජුරුවෙනි, වෙනස් නොවන්නාවූ මේදවරුන්ගේද පර්සිවරුන්ගේද ව්‍යවස්ථාව ප්‍රකාරයට තහනම වෙනස් නොවී තිබෙන පිණිස, එය ස්ථිරකොට පත්‍රය අත්සන්කළ මැනවැයි කීවෝය. ඒ නිසා දාරියුස් රජ පත්‍රය හා නියමය අත්සන්කෙළේය. ඒ පත්‍රය අත්සන් කළ බව දානියෙල් දැනගත් විට, තමාගේ ගෙදරට ගොස්, තමාගේ උඩුමහලේ කවුළු යෙරුසලම දෙසට ඇරී තිබියදී, තමා ඊට පළමු කළාක්මෙන් දවසට තුන්වරක් දණින් හිඳ තමාගේ දෙවියන්වහන්සේ ඉදිරියෙහි යාච්ඤාකොට ස්තුතිකෙළේය. එකල ඒ මනුෂ්‍යයෝ ඇතුළට වැද, දානියෙල් තමාගේ දෙවියන්වහන්සේ ඉදිරියෙහි යාච්ඤා හා කන්නලව්කරනවා දුටුවෝය, එවිට ඔව්හු රජු ඉදිරියට ළංවී රාජ තහනම ගැන කථාකොට: රජ්ජුරුවෙනි, කොයි මනුෂ්‍යයෙක් නුමුත් තිස් දවසක් යන තුරු ඔබගෙන් මිස යම් දෙවිකෙනෙකුගෙන්වත් මනුෂ්‍යයෙකුගෙන්වත් යම් ඉල්ලීමක් ඉල්ලුවොත්, ඔහු සිංහ ගුහාවේ දමනු ලැබේය කියා ඔබ තහනම් පත්‍රයක් කොට අත්සන්කළා නොවේදැයි ඇසුවෝය. රජද උත්තරදෙමින්: වෙනස් නොවන්නාවූ මේදවරුන්ගේද පර්සිවරුන්ගේද පනතේ හැටියට කාරණය සැබෑයයි කීවේය. එවිට ඔව්හු රජු ඉදිරියේ උත්තරදෙමින්; රජ්ජුරුවෙනි, යූදාරටෙන් අල්ලාගන ආ තැනැත්තන්ගෙන් එක්කෙනෙක්වූ දානියෙල් ඔබ සහ ඔබ විසින් අත්සන්කළ තහනම නොසලකා, දවසට තුන්වරක් තමාගේ යාච්ඤාව ඔප්පුකරන්නේයයි කීවෝය.

