දානියෙල් 4:5-18

දානියෙල් 4:5-18 SROV

මට භය ඉපදෙවූ ස්වප්නයක් දුටුවෙමි; මාගේ යහනේදී පැමුණුණු මාගේ සිතිවිලිද මාගේ හිසේ දර්ශනද මා කැලඹුවේය. එවිට ස්වප්නයේ අර්ථය මට දන්වන පිණිස බබිලෝනියේ සියලු ශාස්ත්‍රවන්තයන් මා ඉදිරියට පමුණුවන්ට ආඥාකෙළෙමි. එකල මන්ත්‍රකාරයෝද අනවිනකාරයෝද කල්දිවරුද පේනකියන්නෝද ආවෝය. මම ඔවුන් ඉදිරියෙහි ස්වප්නය කීවෙමි; එහෙත් එහි අර්ථය ඔවුන් මට පෙන්වාදුන්නේ නැත. අන්තිමේදී මාගේ දෙවියන්ගේ නාමය ලෙස බේල්ටෙෂශර් නම්වූ, ශුද්ධ දෙවිවරුන්ගේ ආත්මය ඇත්තාවූ දානියෙල් මා ඉදිරියට ආයේය. මම ඔහු ඉදිරියෙහි ස්වප්නය මෙසේ කීවෙමි: මායාකාරයන්ගේ ප්‍රධානියාවූ බේල්ටෙෂශර්, ශුද්ධ දෙවිවරුන්ගේ ආත්මය නුඹට තිබෙන බවත් කිසි රහසක් විසඳීම නුඹට අමාරු නොවන බවත් දනිමි, එබැවින් මා දුටු ස්වප්නයේ දර්ශනද එහි අර්ථයද මට කියන්න. මාගේ යහනේදී පැමිණි මාගේ හිසේ දර්ශන මෙසේය–බොහෝ උස ඇති ගහක් පොළොව මැද තිබෙනවා දුටිමි. ඒ ගස වැඩී, ශක්තිමත්ව තිබුණේය, ඒකේ උස අහස දක්වා විය, ඒක මුළු පොළොවේ කෙළවරට පෙනුණේය. එහි කොළ ශෝභනව, එහි ඵල බොහෝව තිබුණේය, එය තුළ සියල්ලන්ට ආහාර තිබුණේය. ඒක යට වනයේ මෘගයන්ට සෙවණ තිබුණේය, ඒකේ අතුවල ආකාශ පක්ෂියෝ ලැග්ගෝය, සියලු සත්වයන්ට එයින් කෑම ලැබුණේය. මාගේ යහනේදී පැමිණි මාගේ හිසේ දර්ශන වලදී මා බලාඉන්න අතර, ශුද්ධවූ රැකවලෙක් අහසෙන් බැස්සේය. ඔහු මොරගා කෑගසමින්: ගහ කපාදමන්න, ඒකේ අතුත් කපාදමා, ඒකේ කොළ සොලවාදමා, ඒකේ ඵල විසුරුවන්න. මෘගයෝ ඒක යටින්ද පක්ෂීහු ඒකේ අතුවලින්ද අහක්ව යත්වා. එහෙත් ඒකේ මුලේ කඳට යකඩ සහ පිත්තල බැම්මක් දමා, පොළොවෙහි වනයේ තෘණ අතරේ තිබෙන්ට අරින්න; ඒක අහසේ පිනිවලින් තෙමේවා, ඔහුගේ කොටස මෘගයන් සමඟ පොළොවේ තණකොළ අතරේ වේවා. ඔහුගේ සිත මනුෂ්‍ය සිතක් නොවන හැටියට වෙනස්වී, මෘග සිතක් ඔහුට ලැබී, එසේ ඔහු කාලවල් සතක් පසුකෙරේවා. මනුෂ්‍යයන්ගේ රාජ්‍යය කෙරෙහි මහෝත්තමයාණන්වහන්සේ බලය පවත්වා, තමන් කැමැති කෙනෙකුට ඒක දී, මනුෂ්‍යයන්ගෙන් නීචයෙකු නුමුත් එය කෙරෙහි පත්කරන බව ජීවත්ව සිටින අය දැනගන්න පිණිස, මේ තීන්දුව රැකවලුන්ගේ නියමයෙන්ද මේ ආඥාව ශුද්ධ තැනත්තන්ගේ වචනයෙන්ද වන්නේයයි කීවේය. මේ ස්වප්නය නෙබුකද්නෙශර් රජ වන මම දුටිමි. බේල්ටෙෂශර්, නුඹ අර්ථය කියන්න, මක්නිසාද මට අර්ථය දන්වන්ට මාගේ රාජ්‍යයේ සියලු ශාස්ත්‍රවන්තයන්ට බැරිය; නුමුත් ශුද්ධ දෙවිවරුන්ගේ ආත්මය නුඹට තිබෙන නිසා නුඹට නම් පුළුවන.