දානියෙල් 1:8-16
දානියෙල් 1:8-16 SROV
එහෙත් දානියෙල් රජුගේ භෝජනයෙන්වත් ඔහු බොන මුද්‍රිකපානයෙන්වත් අපවිත්‍ර නොවී සිටීමට තමාගේ සිතින් නියමකරගෙන, එසේ අපවිත්‍ර නොවී සිටින්ට නපුංසකයන්ගේ අධිපතියාගෙන් අවසර ඉල්ලුවේය. දෙවියන්වහන්සේ දානියෙල්ට නපුංසකයන්ගේ අධිපතියාගෙන් කරුණාවත් අනුකම්පාවත් ලැබෙන්ට සැලැස්වූසේක. නපුංසකයන්ගේ අධිපතීයා දානියෙල්ට කථාකොට: නුඹලාගේ කෑමද බීමද නියමකළ මාගේ ස්වාමිවූ රජ්ජුරුවන්ට භයවෙමි. නුඹලාගේ වයසේ යෞවනයන්ට වඩා නුඹලාගේ මුහුණු මලානිකව තිබෙනවා ඔහු දකින්නේ මක්නිසාද? එසේ නුඹලා නිසා මාගේ හිස රජු ඉදිරියෙහි උපද්‍රවයට පැමිණේයයි කීවේය. එකල දානියෙල්ද හනනියාද මීෂායෙල්ද අසරියාද කෙරෙහි නපුංසකයන්ගේ අධිපතියා විසින් පත්කළ ගබඩාකාරයාට දානියෙල් කථාකොට: නුඹේ මෙහෙකරුවන් දස දවසක් පරීක්ෂාකර බලන ලෙස ඉල්ලමි; කන්ට එලවලුද බොන්ට වතුරද අපට ලැබේවා. පසුව අපේ පෙනීමද රජුගේ භෝජන කන්නාවූ යෞවනයන්ගේ පෙනීමද නුඹ බලා, නුඹට පෙනෙන හැටියට නුඹේ මෙහෙකරුවන්ට කළ මැනවියි කීවේය. ඒ කාරණය ගැන ඔහු ඔවුන්ට ඇහුම්කන්දී, දස දවසක් ඔවුන් පරීක්ෂාකර බැලුවේය. දස දවසකට පසු රජුගේ භෝජනයෙන් කෑවාවූ සියලු යෞවනයන්ට වඩා ඔව්හු පෙනීමෙන් හොඳව, මාංසයෙන් තරව සිටියෝය. එවිට ගබඩාකාරයා ඔවුන්ගේ නියම භෝජනයද ඔවුන්ට බොන්ට තිබුණු මුද්‍රිකපානයද අහක්කර, එලවලු ඔවුන්ට දුන්නේය.

