දානියෙල් 1:1-9
දානියෙල් 1:1-9 SROV
යූදාහි රජවූ යෙහෝයාකීම්ගේ රජකම්කිරීමේ තුන්වෙනි අවුරුද්දේදී බබිලෝනියේ රජවූ නෙබුකද්නෙශර් රජ යෙරුසලමට ඇවිත් ඒක වටලා ගත්තේය. ස්වාමීන්වහන්සේ ද යූදාහි රජවූ යෙහෝයාකීම් සහ දෙවියන්වහන්සේගේ ගෘහයේ බඩුවලින් කොටසක් ඔහු අතට දුන්සේක; ඔහු ඒවා ෂීනාර් දේශයේ තමාගේ දෙවියන්ගේ ගෘහයට ගෙනැවිත්, ඒ බඩු තමාගේ දෙවියන්ගේ භාණ්ඩාගාරයෙහි තැබුයේය. රජ තමාගේ නපුංසකයන්ගේ ප්‍රධානියාවූ අෂ්පෙනස්ට කථාකොට, ඉශ්‍රායෙල් පුත්‍රයන් අතරෙන් රාජ වංශයෙන්ද උත්තමයන්ගෙන්ද කැලලක් නැත්තාවූ, ශෝභමානවූ, සකල ශාස්ත්‍ර දැනුම් ඇත්තාවූ, දැනගැන්මද ඥානයද ඇත්තාවූ, රජුගේ මාළිගාවෙහි සිටින්ට පුළුවන්කම ඇත්තාවූ යෞවනයන් ගෙන්වාගන, කල්දිවරුන්ගේ අකුරුත් භාෂාවත් උගන්වන්ට කීවේය. රජතෙමේ ඔවුන්ට තමාගේ භෝජනවලින්ද තමා බොන මුද්‍රිකපානයෙන්ද දවස්පතා කොටසක් නියමකොට, ඊට පසු ඔවුන් රජු ඉදිරියෙහි සිටින පිණිස තුන් අවුරුද්දක් ඔවුන් පෝෂ්‍යකරන්ට අණකළේය. ඔවුන් අතරේ යූදා පුත්‍රයන්ගෙන් දානියෙල්ද හනනියාද මීෂායෙල්ද අසරියාද වූවෝය. නපුංසකයන්ගේ අධිපතියා ඔවුන්ට නම් තැබුවේය; ඔහු දානියෙල්ට බේල්ටෙෂශර්ද හනනියාට ෂද්‍රක්ද මීෂායෙල්ට මේෂක්ද අසරියාට අබේද්-නෙගෝද යන නම් තැබුවේය. එහෙත් දානියෙල් රජුගේ භෝජනයෙන්වත් ඔහු බොන මුද්‍රිකපානයෙන්වත් අපවිත්‍ර නොවී සිටීමට තමාගේ සිතින් නියමකරගෙන, එසේ අපවිත්‍ර නොවී සිටින්ට නපුංසකයන්ගේ අධිපතියාගෙන් අවසර ඉල්ලුවේය. දෙවියන්වහන්සේ දානියෙල්ට නපුංසකයන්ගේ අධිපතියාගෙන් කරුණාවත් අනුකම්පාවත් ලැබෙන්ට සැලැස්වූසේක.

