කොලොස්සි 2:8-19

කොලොස්සි 2:8-19 SROV

ක්‍රිස්තුස්වහන්සේට එකඟ නැත්තාවූ, මනුෂ්‍යයන්ගේ පරම්පරාගත නියෝගවලත් ලෝකයේ ගුරුකම්වලත් ප්‍රකාරයට තිබෙන පණ්ඩිතකමද හිස්වූ රැවටිලිකාරකමද කරණකොටගෙන නුඹලා කොල්ලයක් කරගන්න කිසිවෙක් නොසිටින හැටියට බලාගන්න. මක්නිසාද උන්වහන්සේ තුළ දේවත්වයේ සියලු සම්පූර්ණකම ශරීරාකාරයෙන් වාසයකරන්නේය. සියලු අධිපතිකමේද බලයේද හිස වන උන්වහන්සේ තුළ නුඹලා පූර්ණව සිටින්නහුය. අතින් නොකළ චර්මඡේද්‍යයක් වන මාංසයේ ශරීරය පහකිරීම නමැති ක්‍රිස්තුස් වහන්සේගේ චර්මඡේද්‍යයෙන් උන්වහන්සේ තුළ නුඹලා චර්මඡේද්‍ය කරනු ලැබුවහුය. නුඹලා උන්වහන්සේ සමඟ බව්තීස්මයෙහි තැන්පත්කරනු ලැබ, උන්වහන්සේව මළවුන්ගෙන් නැගිටෙවුවාවූ දෙවියන්වහන්සේගේ ක්‍රියාකිරීම කෙරෙහි ඇදහීම කරණකොටගෙන, උන්වහන්සේ සමඟ නැගුටුවනු ලැබුවහුය. නුඹලාගේ වරදවලද මාංසයේ අචර්මඡේද්‍යයෙහිද මැරී සිටියාවූ නුඹලා, උන්වහන්සේ සමඟ ජීවත්කරවූසේක. එසේය, උන්වහන්සේ අපේ සියලු වරද අපට කමාකළසේක; අපට විරුද්ධව, අපට එදිරිව තිබුණාවූ නියෝගවල ලියවිල්ල මකාදමා, ඒක කුරුසියෙහි ඇණගසා අහක්කළසේක. උන්වහන්සේ තමන් කෙරෙන් අධිපතීන්ද බලයලත්තන්ද පහකොට, ප්‍රසිද්ධයෙන් ඔවුන් දක්වා, කුරුසිය කරණකොටගෙන ඔවුන්ගෙන් ජයගත් බව ප්‍රකාශකළසේක. එබැවින් කෑම ගැනවත් බීම ගැනවත් මංගල්‍ය දවසක් ගැනවත් අමාවක දවසක් ගැනවත් සබත් දවස් ගැනවත් නුඹලා විනිශ්චයකරන්ට කිසිවෙකුට ඉඩ නාරින්න. ඒවා පැමිණෙන්ට තිබෙන දේවල ඡායාවක්ය; නුමුත් සිරුර ක්‍රිස්තුස්වහන්සේගේය. පහත්වීමටද දේවදූතයන්ට නමස්කාරකිරීමටද කැමතිවීමෙන් දිනුම නුඹලාගෙන් පහකරන්ට කිසිවෙකුට ඉඩ නාරින්න. එබඳු තැනැත්තා තමා දුටු දේවල හැසිරෙමින්, තමාගේ මාංසික බුද්ධියෙන් නිරර්ථකලෙස උඩඟුවී, මුළු ශරීරයට පුරුක් සහ නහර කරණකොටගෙන උපකාර කොට, එය සම්බන්ධකර දෙවියන්වහන්සේගේ වර්ධනයෙන් වර්ධනයකරන්නාවූ හිසට නොබැඳී සිටින්නේය.

කොලොස්සි 2:8-19 සම්බන්ධව නිදහස් කියවීමේ සැලසුම් සහ පූජනීයත්වය