කොලොස්සි 2:13-23

කොලොස්සි 2:13-23 SROV

නුඹලාගේ වරදවලද මාංසයේ අචර්මඡේද්‍යයෙහිද මැරී සිටියාවූ නුඹලා, උන්වහන්සේ සමඟ ජීවත්කරවූසේක. එසේය, උන්වහන්සේ අපේ සියලු වරද අපට කමාකළසේක; අපට විරුද්ධව, අපට එදිරිව තිබුණාවූ නියෝගවල ලියවිල්ල මකාදමා, ඒක කුරුසියෙහි ඇණගසා අහක්කළසේක. උන්වහන්සේ තමන් කෙරෙන් අධිපතීන්ද බලයලත්තන්ද පහකොට, ප්‍රසිද්ධයෙන් ඔවුන් දක්වා, කුරුසිය කරණකොටගෙන ඔවුන්ගෙන් ජයගත් බව ප්‍රකාශකළසේක. එබැවින් කෑම ගැනවත් බීම ගැනවත් මංගල්‍ය දවසක් ගැනවත් අමාවක දවසක් ගැනවත් සබත් දවස් ගැනවත් නුඹලා විනිශ්චයකරන්ට කිසිවෙකුට ඉඩ නාරින්න. ඒවා පැමිණෙන්ට තිබෙන දේවල ඡායාවක්ය; නුමුත් සිරුර ක්‍රිස්තුස්වහන්සේගේය. පහත්වීමටද දේවදූතයන්ට නමස්කාරකිරීමටද කැමතිවීමෙන් දිනුම නුඹලාගෙන් පහකරන්ට කිසිවෙකුට ඉඩ නාරින්න. එබඳු තැනැත්තා තමා දුටු දේවල හැසිරෙමින්, තමාගේ මාංසික බුද්ධියෙන් නිරර්ථකලෙස උඩඟුවී, මුළු ශරීරයට පුරුක් සහ නහර කරණකොටගෙන උපකාර කොට, එය සම්බන්ධකර දෙවියන්වහන්සේගේ වර්ධනයෙන් වර්ධනයකරන්නාවූ හිසට නොබැඳී සිටින්නේය. නුඹලා ලෝකයේ ගුරුකම් කෙරෙන් වෙන්ව ක්‍රිස්තුස්වහන්සේ සමඟ මැරුණහුනම්, ලෝකයෙහි ජීවත්වන්නාක් මෙන් මනුෂ්‍යයන්ගේ ශික්ෂා හා ධර්ම අනුව: අල්ලන්ටවත් රසබලන්ටවත් අතගසන්ටවත් එපාය යන නියෝගවලට යටත්වන්නේ මක්නිසාද? මේ සියල්ල පාවිච්චිකිරීමෙන් දිරායන්ට තිබේ. ඒ දේවල් වනාහි කැමතිලෙස නමස්කාර කිරීමෙන්ද පහත්වීමෙන්ද ශරීරයට හිංසාකරගැනීමෙන්ද ඥානවන්තකමක් මෙන් පෙනේ; නුමුත් මාංසයේ තෘෂ්ණා වැලැක්වීම සඳහා ඒවායේ කිසි වටිනාකමක් නැත.