කොලොස්සි 1:21-29

කොලොස්සි 1:21-29 SROV

පසුගිය කාලයේදී අන්‍යයන්ව, නුඹලාගේ නපුරු ක්‍රියාවලින් සිතින් සතුරන්ව සිටියාවූ නුඹලා, ශුද්ධවූ නොකැලැල්වූ නිදොස්වූ තැනැත්තන් කොට තමන්වහන්සේ ඉදිරියෙහි ඔප්පුකරගන්න පිණිස, උන්වහන්සේගේ මාංසමයවූ ශරීරයෙහි මරණය කරණකොටගෙන සමඟිකරගත්සේක. නුඹලා ශුභාරංචියේ බලාපොරොත්තුවෙන් අහක් නොවී, ඇදහිල්ලේ පිහිට ස්ථිරව සිටින්නහු නම්, එසේ වන්නේය. ඒ ශුභාරංචිය නුඹලා ඇසුවහුය. එය අහසින් යට මුළු මැවිල්ලෙහි ප්‍රකාශවුණේය. පාවුල් නම් මම ඒකේ සේවකයෙක් කරනු ලැබීමි. දැන් මම නුඹලා උදෙසා විඳින දුක් ගැන ප්‍රීතිව, ක්‍රිස්තුස්වහන්සේගේ ශරීරය වන සභාව උදෙසා, උන්වහන්සේගේ දුක්වලින් අඩුව තිබෙන ඒවා මාගේ මාංසයෙන් සම්පූර්ණකරමි. පූර්ව කාලවලද පරම්පරාවලද පටන් සැඟවී තිබී, දැන් දෙවියන්වහන්සේගේ ශුද්ධවන්තයන්ට ප්‍රකාශවුණාවූ රහස වන, දෙවියන්වහන්සේගේ වචනය සම්පූර්ණ කිරීමට, නුඹලා උදෙසා මට දෙනලද උන්වහන්සේගේ ගබඩාකාරකමේ හැටියට, සභාවේ සේවකයෙක් කරනු ලැබීමි. අන්‍යජාතීන් අතරේ තිබෙන මේ රහසේ තේජස් සම්පත කිමෙක්ද කියා දෙවියන්වහන්සේ ශුද්ධවන්තයන්ට දන්වන්ට කැමතිවූසේක; ඒ වනාහි තේජසේ බලාපොරොත්තුව වන නුඹලා තුළ සිටින ක්‍රිස්තුස්වහන්සේය. අපි නම් ක්‍රිස්තුස්වහන්සේ තුළ සියලු මනුෂ්‍යයන් සම්පූර්ණකොට ඔප්පුකරන පිණිස සියලු මනුෂ්‍යයන්ට දැනමුතුකම් දෙමින්ද සියලු මනුෂ්‍යයන්ට සියලු ආකාර ප්‍රඥාවෙන් උගන්වමින්ද උන්වහන්සේ ප්‍රකාශකරමුව. ඒ ඇර, මා තුළ බලවත් ලෙස කෙරෙන උන්වහන්සේගේ ක්‍රියා කිරීමේ ප්‍රකාරයට ඒ සඳහා මම පොරඅල්ලමින් වීර්යකරමි.