ක්‍රියා 9:1-17
ක්‍රියා 9:1-17 SROV
නුමුත් සාවුල් තව දුරටත් ස්වාමීන්වහන්සේගේ ගෝලයන්ට විරුද්ධව තර්ජනයකරමින්ද, ඔවුන් මරමියි කියමින්ද, උත්තම පූජකයා වෙතට ගොස්, ඒ ලබ්ධි මාර්ගයට අයිති අයවලුන්ගෙන් පුරුෂයන් හෝ ස්ත්‍රීන් හෝ සම්බවුණොත් ඔවුන් බැඳ යෙරුසලමට ගෙන එන පිණිස දමස්කයේ සිනගෝගවලට ඔහුගෙන් ලියුම් ඉල්ලාගත්තේය. තවද ඔහු ගමන්කොට දමස්කයට ළංවූ කල, හදිසියෙන් අහසින් ආලෝකයක් ඔහු අවට බැබළුණේය. ඔහු බිම වැටුණේය, එවිට: සාවුල්, සාවුල්, නුඹ මට පීඩාකරන්නේ මක්නිසාදැයි තමාට කියන හඬක් ඔහුට ඇසුණේය. ස්වාමිනි, ඔබ කවුදැයි ඔහු ඇසීය. උන්වහන්සේද: මම වනාහි නුඹ පීඩාකරන යේසුස්ය. නුමුත් නැගිට නුවරට ඇතුල්වෙන්න, නුඹ විසින් කටයුතු දේ නුඹට කියනු ලබන්නේයයි කීසේක. ඔහු සමඟ ගමන්කළ මනුෂ්‍යයන්ට ඒ හඬ ඇසුණ නුමුත්, ඔව්හු කිසිවෙකු නොදැක, කථාකරන්ට නොහැකිව සිටියෝය. සාවුල් බිමෙන් නැගිට තමාගේ ඇස් ඇරිය කල, ඔහුට කිසිවක් පෙනුණේ නැත; ඔව්හු ඔහුගේ අත අල්ලා දමස්කයට ගෙනගියෝය. ඔහු තුන්දවසක් ඇස් නොපෙනී, නොකා නොබී සිටියේය. දමස්කයෙහි අනනියස් නම් එක්තරා ගෝලයෙක් සිටියේය; ස්වාමීන්වහන්සේ දර්ශනයකින්: අනනියස්නි කියා ඔහුට කීසේක. ස්වාමිනි, මම මෙහියයි ඔහු කීවේය. ස්වාමීන්වහන්සේ ඔහුට කථාකොට: නැගිට සෘජු නම්වූ වීථියට ගොස්, තාර්සස්හි මනුෂ්‍යයෙක්වූ සාවුල් නම් කෙනෙකු ගැන යූදස්ගේ ගෙයි විභාගකරන්න. මක්නිසාද ඔහු යාච්ඤාකරමින් සිටිනුයේ, තමාට පෙනීම ලැබෙන පිණිස අනනියස් නම් මනුෂ්‍යයෙක් පැමිණ තමා පිට අත් තබනවා දුටුවේයයි කීසේක. එහෙත් අනනියස් උත්තරදෙමින්: ස්වාමිනි, මේ මනුෂ්‍යයා යෙරුසලමේදී ඔබගේ ශුද්ධවන්තයන්ට කොපමණ නපුරුකම් කළේදැයි බොහෝ දෙනෙකුගෙන් ඇසිමි. මෙහිදීත්, ඔබගේ නාමයට යාච්ඤා කරන සියල්ලන් බඳින්ට නායක පූජකයන්ගෙන් බලය ලැබ සිටීයයි කීවේය. නුමුත් ස්වාමීන්වහන්සේ ඔහුට කථාකොට: යන්න, මක්නිසාද ඔහු මාගේ නාමය අන්‍යජාතීන්ද රජුන්ද ඉශ්රායෙල් පුත්‍රයන්ද ඉදිරියට ගෙනයන්ට මා විසින් තෝරාගන්නාලද භාජනයක්ය. ඔහු මාගේ නාමය නිසා කොපමණ දේ විඳින්ට ඕනෑද කියා ඔහුට දක්වන්නෙමියි කීසේක. අනනියස් පිටත්ව ගොස්, ගෙට ඇතුල්වී, ඔහු පිට අත් තබා: සහෝදරවූ සාවුල්, නුඹ පෙනීම ලබන පිණිසද ශුද්ධාත්මයෙන් පූර්ණකරනු ලබන පිණිසද ස්වාමීන්වහන්සේ, එනම් නුඹ ආවාවූ මාර්ගයෙහිදී නුඹට පෙනුණාවූ යේසුස්වහන්සේ, මා එවූසේකැයි කීවේය.

