නුමුත් දෙවියන්වහන්සේ ආබ්‍රහම්ට දුන් පොරොන්දුවේ කාලය ළංවී, යෝසෙප් නොහඳුනන අන් රජෙක් මිසරය කෙරෙහි පැමිණෙන තුරු සෙනඟ මිසරයෙහි වැඩී බොහෝ වූවෝය. හෙතෙම අපේ ජාතියට විරුද්ධව උපා යොදා තමුන්ගේ ළදරුවන් ජීවත් නොවන පිණිස ඔවුන් අහක දමන ලෙස අපගේ පියවරුන්ට පීඩා කෙළේය. ඒ කාලයේදී මෝසෙස් උපන්නේය, ඔහු අතිශයින් ශෝභනව සිටියේය; ඔහු ස්වකීය පියාගේ ගෙයි තුන් මසක් පෝෂණයකරනු ලැබුවේය. ඔහු පිටතට දමනු ලැබූ කල, ඵාරාවෝගේ දුව ඔහු රැගෙන, තමාගේම පුත්‍රයා කොට ඇතිකරගත්තාය. මෝසෙස් තෙම මිසරයන්ගේ සකල ශාස්ත්‍රයන්හි පුහුණුකරනු ලැබ, තමාගේ වචනවලින් ද ක්‍රියාවලින්ද බලවත්ව සිටියේය. ඔහු සතළිස් අවුරුදු වයසට ළංවූ කල ඉශ්රායෙල් පුත්‍රයන් වන තමාගේ සහෝදරයන් බලන්ට යන ලෙස ඔහුගේ සිතෙහි අදහසක් හටගත්තේය. එකල ඔහු කෙනෙකුට අයුක්තියක් සිදුවෙනවා දැක, ඔහුට උදවුවී, මිසරයාට පහරදෙමින්, පීඩා වින්ද අයට යුක්තිය කෙළේය. මක්නිසාද දෙවියන්වහන්සේ ඔහු කරණකොටගෙන ඔවුන්ට ගැළවීම දෙන බව තමාගේ සහෝදරයන් දන්නවායයි ඔහු සිතුවේය; නුමුත් ඔව්හු තේරුම් නොගත්තෝය. පසුවදා ඔවුන් ඩබරකරන විට ඔහු ඔවුන්ට පෙනී: මනුෂ්‍යයෙනි, නුඹලා සහෝදරයෝය; කුමක් නිසා එකිනෙකාට අයුතුකම් කරවුදැයි කියමින් සමාදානකරන්ට ගියේය. නුමුත් තමාගේ අසල්වාසියාට අයුක්තිය කළ අය ඔහු නෙරපා: අප කෙරෙහි නුඹ අධිපතියෙක් හා විනිශ්චයකාරයෙක්ද කොට පත්කළේ කවුද? නුඹ ඊයේ මිසරයා මැරූ ලෙස මාත් මරන්ට හදනවාදැයි කීවේය. ඒ කීම නිසා මෝසෙස් පලාගොස්, මිදියන් දේශයෙහි විදේශීව විසුවේය, එහිදී ඔහුට දාව පුත්‍රයන් දෙදෙනෙක් උපන්නෝය. සතළිස් අවුරුද්දක් සම්පූර්ණවූ කල, දේවදූතයෙක් සීනයි කන්දේ වනයෙහි පඳුරක ගිනි ජාලාවෙක්හි ඔහුට පෙනුණේය. මෝසෙස් ඒ දැක, දර්ශනයට පුදුමව, බලන පිණිස ළඟට ගිය කල: මම නුඹේ පියවරුන්ගේ දෙවියන්වහන්සේ වන ආබ්‍රහම්ගේද ඊසාක්ගේද යාකොබ්ගේද දෙවියන්වහන්සේය කියා ස්වාමීන්වහන්සේගේ හඬක් විය. මෝසෙස් වෙවුලමින්, බලන්ට භයවූයේය. ස්වාමීන්වහන්සේ ඔහුට කියනසේක්: නුඹේ පාදවලින් වහන් මුදව; මක්නිසාද නුඹ සිටින ස්ථානය ශුද්ධ භූමියක්ය. මිසරයෙහි වසන මාගේ සෙනඟගේ පීඩාව සැබවින් දුටිමි, ඔවුන්ගේ සුසුම්ලෑම අසා, ඔවුන් ගළවන පිණිස බැස්සෙමි. ඉතින් එන්න, නුඹ මිසරයට යවන්නෙමියි කීසේක. නුඹ අධිපතියෙක් හා විනිශ්චයකාරයෙක් කොට පත්කරනලද්දේ කවරෙකු විසින්ද කියා ඔවුන් එපාකළාවූ මෙම මෝසෙස් ප්‍රධානියෙක්ද ගැළවුම්කාරයෙක්ද වන පිණිස, දෙවියන්වහන්සේ පඳුරේදී ඔහුට පෙනුණු දූතයාගේ හස්තය ඇතුව යැවූසේක. මිසරයෙහිදීත් රතු මුහුදේදීත් සතළිස් අවුරුද්දක් මුළුල්ලෙහි කාන්තාරයේදීත් පුදුමද හාස්කම්ද කොට මේ මනුෂ්‍යයා ඔවුන් පිටතට ගෙනගියේය. දෙවියන්වහන්සේ මා හා සමාන අනාගතවක්තෘ කෙනෙකු නුඹලාගේ සහෝදරයන් අතරෙන් නුඹලාට නැගුටුවාදෙනසේකැයි ඉශ්රායෙල් පුත්‍රයන්ට කීවාවූ මෝසෙස් මේය. සීනයි කන්දේදී තමාට කථාකළ දේවදූතයා සමඟද අපගේ පියවරුන් සමඟද කාන්තාරයේ සභාවෙහි සිටියෙත්, අපට දෙන පිණිස ජීවන වාක්‍යයන් ලැබුවෙත් මොහුය. අපේ පියවරු ඔහුට කීකරුවෙන්ට නොකැමැතිව, ඔහු නෙරපා, තමුන්ගේ සිත්වලින් මිසරය දෙසට හැරී, ආරොන්ට කථාකරමින්: අපට පෙරටුව යන පිණිස දෙවිවරුන් සෑදුව මැනවි. කුමක්හෙයින්ද මිසර දේශයෙන් අප ගෙනාවාවූ ඒ මෝසෙස්ට කුමක් වුණාද කියා නොදනිමුයයි කීවෝය. ඔව්හු ඒ දවස්වලදී වස්සෙකු සාදා, ඒ රූපයට පූජාවක් ගෙනැවිත්, තමුන්ගේ හස්තකර්ම ගැන ප්‍රීතිවුණෝය. එවිට දෙවියන්වහන්සේ ඔවුන් වෙතින් හැරී, අහස් සේනාවට මෙහෙකරන්ට ඔවුන් අත්හැර දැමූසේක; අනාගත වක්තෘවරුන්ගේ පොතේ ඒ ගැන මෙසේ ලියා තිබේ, කෙසේද:
එම්බා ඉශ්රායෙල් වංශය, මැරුවාවූ මෘගයන් හා යාග නුඹලා වනයෙහිදී සතළිස් අවුරුද්දක් මට පූජාකළහුද?
නමස්කාරකරන පිණිස නුඹලා විසින් සාදනලද රූප එනම් මොලොක්ගේ කූඩාරමද රෙපාන් දෙවියාගේ තාරකාවද ඔසවාගෙනගියහුය.
එබැවින් නුඹලා බබිලෝනියෙන් එපිටට ගෙනයන්නෙමි
යනුයි. තමා දුටුවාවූ ආදර්ශය මෙන් සාක්ෂියේ කූඩාරම සාදන්ට මෝසෙස්ට කී තැනන්වහන්සේ නියමකළ ලෙස අපගේ පියවරුන්ට ඒක වනයෙහි තිබුණේය. අපේ පියවරු ඒක භාරගෙන, දෙවියන්වහන්සේ විසින් අපේ පියවරුන් ඉදිරියෙන් පන්නාදැමූ ජාතීන්ගේ දේශය අයිතිකරගන්න විට යෝෂුවා සමඟ ඇතුළට ගෙනැත්, දාවිත්ගේ දවස් දක්වා තබාගත්තෝය. ඔහු දෙවියන්වහන්සේගේ ඇස් හමුවෙහි කරුණාව ලැබ, යාකොබ්ගේ දෙවියන්වහන්සේට වාසස්ථානයක් සාදන්ට ඉල්ලුවේය. නුමුත් උන්වහන්සේට ගෘහයක් ගොඩනැගුවේ සාලමොන්ය. එසේ ද වුවත් අතින් සෑදුවාවූ ගෘහවල මහෝත්තමයාණන්වහන්සේ වාසය නොකරනසේක; අනාගතවක්තෘවූ කියන හැටියට:-
ස්වර්ගය මාගේ සිංහාසනයය, පොළොව මාගේ පාපුටුවය.
කෙබඳු ගෘහයක් නුඹලා මට ගොඩනගවුද?
නොහොත් මාගේ විශ්රාමස්ථානය කිමෙක්ද?
මේ සියල්ල මාගේ අතින් නොසාදන ලද්දේදැයි ස්වාමීන්වහන්සේ කියනසේක.
තදවූ කුලල් ඇත්තෙනි, සිතින්ද කන්වලින්ද අචර්මඡේදිතයෙනි, නුඹලා නිතරම ශුද්ධාත්මයාණන්ට විරුද්ධව සිටිහුය. නුඹලාගේ පියවරුන් කළාක් මෙන් නුඹලාත් කරහුය. නුඹලාගේ පියවරුන් පීඩා නොකළේ ප්‍රොපේතවරුන්ගෙන් කොයි තැනැත්තාටද? ඔව්හු ධර්මිෂ්ඨයාණන්ගේ ඊම පළමුවෙන් දැන්වූවන් මැරුවෝය; නුඹලා දැන් උන්වහන්සේව පාවාදෙන්නන්ද මරන්නන්ද වී සිටිති; නුඹලා දේවදූතයන් කරණකොටගෙන නියමකරන ලද ආකාරයෙන් ව්‍යවස්ථාව ලැබත්, එය රක්ෂා නොකළහුය යනුයි.