ක්‍රියා 7:1-6
ක්‍රියා 7:1-6 SROV
එවිට උත්තම පූජකයා: මේ දේවල් මෙසේදැයි ඇසුයේය. ස්තේපන් කථාකොට කියනුයේ: සහෝදරයෙනි, පියවරුනි, ඇහුම්කන්දෙන්න. අපගේ පියවූ ආබ්‍රහම් හාරන්හි විසීමට පළමුවෙන් මෙසොපොතාමියෙහි සිටි කාලයෙහි මහිමාන්විත දෙවියන්වහන්සේ ඔහුට පෙනී: නුඹේ දේශයෙන්ද නෑයන් කෙරෙන්ද තුරන්ව, මා නුඹට පෙන්වන දේශයට එවයි කීසේක. එකල ඔහු කල්දියයන්ගේ දේශයෙන් පිටත්ව හාරන්හි විසුවේය. ඔහුගේ පියා මළ කල්හි, දෙවියන්වහන්සේ ඔහු එතැනින් නුඹලා දැන් වසන්නාවූ මේ දේශයට ගෙනාසේක. එහි එක පියවරක් තබන්ට පමණවත් ඔහුට උරුමයක් නොදී ඔහු දරුවෙකු නොලැබ සිටියදී, මේ දේශය ඔහුටද ඔහුගෙන් පසු ඔහුගේ වංශයටද උරුම කොට දෙන්ට පොරොන්දුවූසේක. තවද දෙවියන්වහන්සේ මෙසේ කීසේක, කෙසේද: ඔහුගේ වංශය අන්‍ය දේශයක විදේශීව සිටිනවා ඇත, ඒ දේශවාසීන් ඔවුන් වහල්කමට ගෙන, අවුරුදු හාරසියයක් මුළුල්ලෙහි ඔවුන්ට පීඩාකරනවා ඇත.

