ක්‍රියා 5:27-42

ක්‍රියා 5:27-42 SROV

ඔව්හු ඔවුන් ගෙනැවිත් සභාව ඉදිරියෙහි සිටෙවුවෝය. උත්තම පූජකයා කථාකොට: මේ නාමයෙන් නූගන්වන්ට නුඹලාට තදින් ආඥාකෙළෙමුව. එහෙත් නුඹලා නුඹලාගේ ඉගැන්වීමෙන් යෙරුසලම පුරවා, ඒ මනුෂ්‍යයාගේ ලේ අප පිට පමුණුවන්ට සාදන්නහුයයි ඔවුන්ට කීවේය. පේතෘස්ද ප්‍රේරිතයෝද උත්තරදෙමින්: මනුෂ්‍යයන්ට වඩා දෙවියන්වහන්සේට අප විසින් කීකරු විය යුතුය. නුඹලා විසින් ගසක එල්ලා මැරුවාවූ යේසුස්වහන්සේව අපගේ පියවරුන්ගේ දෙවියන්වහන්සේ නැගිටෙවුසේක. ඉශ්‍රායෙල්ට පශ්චාත්තාපයත් පව් කමාවත් දෙන අධිපතියෙක්ද ගැළවුම්කාරයෙක්ද වන පිණිස දෙවියන්වහන්සේ තමන්ගේ දකුණතින් උන්වහන්සේව උසස්කළසේක. අපි මේ කාරණාවලට සාක්ෂිකාරයෝය; එසේම දෙවියන්වහන්සේ විසින් තමන්ට කීකරුවෙන්නන්ට දුන් ශුද්ධාත්මයාණන්වහන්සෙත් සාක්ෂිකාරයෙකැයි කීවෝය. ඔව්හු ඒ අසා, අතිශයෙන් කෝපවී, ඔවුන් මරන්ට අදහස්කළෝය. නුමුත් ව්‍යවස්ථාචාර්යයෙක්වූ සියලු මනුෂ්‍යයන් විසින් ගරුකරනලද්දාවූ ගමාලියෙල් නම් එක් ඵරිසියෙක් සභාවෙහි නැගිට සිට, ඒ මනුෂ්‍යයන් ස්වල්ප වේලාවකට පිටතට ගෙනයන්ට අණකොට, කියනුයේ: ඉශ්‍රායෙල් මනුෂ්‍යයෙනි, නුඹලා මේ මනුෂ්‍යයන්ට කරන්ට යන කාරණය ගැන ප්‍රවේසම්වෙන්න. මක්නිසාද මේ දවස්වලට පළමුවෙන් තුදාස් තෙමේ තමාත් වැදගත් කෙනෙක්ය කියා නැගිට්ටේය; ගණනින් හාරසියයක් පමණ මනුෂ්‍යයෝ ඔහුට එකතු වුණෝය. ඔහු මරනලද්දේය; ඔහුට යම් පමණ දෙනෙක් කීකරුවූවෝද ඒ සියල්ලෝම විසුරුවනු ලැබ නැතිවී ගියෝය. ඔහුට පසුව ලේඛනය කරන දවස්වලදී ගලීලයේ යූදස් නැගිට සෙනඟගෙන් සමහරෙක් තමා වෙතට ඇදගත්තේය. ඔහුත් විනාශ විය; ඔහුට යම් පමණ දෙනෙක් කීකරු වූවෝද ඔව්හුත් විසුරුවනු ලැබුවෝය. ඉඳින් මා නුඹලාට කියන්නේ නම්, මේ මනුෂ්‍යයන්ගෙන් වැලකී ඔවුන්ට කිසිවක් නොකරන ලෙසය. මක්නිසාද මේ මන්ත්‍රණය හෝ මේ ක්‍රියාව මනුෂ්‍යයන්ගෙන් වී නම්, ඒක පෙරළාදමනු ලබන්නේය. නුමුත් ඒක දෙවියන්වහන්සේගෙන් වී නම්, ඔවුන් පරාජය කරන්ට නුඹලාට බැරිය; එසේ උත්සාහ කළොත් සමහරවිට නුඹලා දෙවියන්වහන්සේට විරුද්ධව පවා යුද්ධකරන්නහුවන්ට පුළුවනැයි කීවේය. ඔව්හු ඔහුගේ වචනයට එකඟවී, ප්‍රේරිතයන් තමුන් වෙතට ගෙන්වා, ඔවුන්ට තළා, යේසුස්වහන්සේගේ නාමයෙන් කථා නොකරන්ට අණකොට යන්ට හැරියෝය. එහෙයින් ඔව්හු ඒ නාමය නිසා නින්දා විඳින්ට තුමූ වටින්නෝයයි ගණන්ගනු ලැබූ බැවින් සන්තෝෂව, සභාව ඉදිරියෙන් පිටත්ව ගොස්, දවස්පතාම දේවමාළිගාවේදීත් ගෙදරදීත් ඉගැන්වීමෙන්ද යේසුස්වහන්සේ ක්‍රිස්තුස්වහන්සේයයි දේශනාකිරීමෙන්ද නොනැවතුණෝය.