ක්‍රියා 4:5-17

ක්‍රියා 4:5-17 SROV

තවද පසුවදා ඔවුන්ගේ මුලාදෑනියෝද වැඩිමහල්ලෝද ලියන්නෝද, උත්තම පූජකයාවූ අන්නස්ද කායාඵස්ද යොහන්ද අලෙක්ෂන්දර්ද උත්තම පූජකයාගේ සියලු නෑයෝද යෙරුසලමෙහි රැස්වී ඔවුන් මැද සිටුවා: නුඹලා මේක කළේ මොන බලයෙන්ද නොහොත් මොන නාමයෙන්දැයි විචාළෝය. එවිට පේතෘස් ශුද්ධාත්මයෙන් පූර්ණව, ඔවුන්ට කියනුයේ, සෙනඟගේ මුලාදෑනියෙනි, වැඩිමහල්ලෙනි, දුර්වල මනුෂ්‍යයෙකුට කළාවූ යහපත් ක්‍රියාවක් ගැන, ඔහු සුවකරනු ලැබුවේ කොයි විධියෙන්දැයි අද අපි විභාගකරනු ලබමු නම්, නුඹලා විසින් කුරුසියෙහි ඇණගසනලද්දාවූද දෙවියන්වහන්සේ විසින් මළවුන්ගෙන් නැගුටුවනලද්දාවූද නාසරිය යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන්ම මේ මනුෂ්‍යයා නුඹලා ඉදිරියෙහි සුවපත්ව සිටීයයි නුඹලා සියල්ලෝද සියලුම ඉශ්‍රායෙල් සෙනඟද දැනගනිත්වා. උන්වහන්සේ වනාහි ගෙවල් සාදන්නන් වන නුඹලා විසින් සුළුකරනු ලැබුවාවූද කොනේ ප්‍රධාන ගල කරනු ලැබුවාවූද ගලය. වෙන කිසිවෙකු තුළ ගැළවීම නැත්තේය. මක්නිසාද අපේ ගැළවීමට අවශ්‍යවූ, මනුෂ්‍යයන් අතරේ දෙනලද වෙන කිසි නාමයක් ස්වර්ගයෙන් යට නැත්තේයයි කීවේය. එවිට ඔව්හු පේතෘස්ගේද යොහන්ගේද නිර්භීතකම දැක, ඔවුන් අපණ්ඩිතවූ නූගත් මනුෂ්‍යයන් බව දැන මවිතවූවෝය; ඔවුන් යේසුස්වහන්සේ සමඟ සිටි බව ඔව්හු ඇඳින්නෝය. සුවකරනු ලැබූ මනුෂ්‍යයා ඔවුන් සමඟ සිටිනවා දැක, ඊට විරුද්ධව කිසිවක් කියන්ට ඔවුන්ට නොහැකි විය. නුමුත් මන්ත්‍රණ සභාවෙන් පිටතට යන්ට ඔවුන්ට ආඥාකොට, තම තමුන් අතරේ කථාකරගනිමින්: මේ මනුෂ්‍යයන්ට මක්කරමුද? මක්නිසාද විශිෂ්ටවූ ආශ්චර්යයක් ඔවුන් කරණකොටගෙන කරනලද බව යෙරුසලමෙහි වසන්නාවූ සියල්ලන්ට ප්‍රකාශව තිබේ; ඒක නැතැයි කියන්ට අපට නුපුළුවන. නුමුත් සෙනඟ අතරේ එය තවත් දුරට පතළ නොවන පිණිස, මින්මතු කාටවත් මේ නාමයෙන් කථා නොකරන්ට ඔවුන්ට තර්ජනයකරමුයයි කීවෝය.