ක්‍රියා 4:14-22

ක්‍රියා 4:14-22 SROV

සුවකරනු ලැබූ මනුෂ්‍යයා ඔවුන් සමඟ සිටිනවා දැක, ඊට විරුද්ධව කිසිවක් කියන්ට ඔවුන්ට නොහැකි විය. නුමුත් මන්ත්‍රණ සභාවෙන් පිටතට යන්ට ඔවුන්ට ආඥාකොට, තම තමුන් අතරේ කථාකරගනිමින්: මේ මනුෂ්‍යයන්ට මක්කරමුද? මක්නිසාද විශිෂ්ටවූ ආශ්චර්යයක් ඔවුන් කරණකොටගෙන කරනලද බව යෙරුසලමෙහි වසන්නාවූ සියල්ලන්ට ප්‍රකාශව තිබේ; ඒක නැතැයි කියන්ට අපට නුපුළුවන. නුමුත් සෙනඟ අතරේ එය තවත් දුරට පතළ නොවන පිණිස, මින්මතු කාටවත් මේ නාමයෙන් කථා නොකරන්ට ඔවුන්ට තර්ජනයකරමුයයි කීවෝය. තවද ඔව්හු ඔවුන් ගෙන්වා, යේසුස්වහන්සේගේ නාමයෙන් කොහෙත්ම කථා නොකරන ලෙසද නූගන්වන ලෙසද ඔවුන්ට ආඥාකළෝය. නුමුත් පේතෘස්ද යොහන්ද ඔවුන්ට උත්තරදෙමින්: දෙවියන්වහන්සේට ඇහුම්කන්දීමට වඩා නුඹලාට ඇහුම්කන්දීම දෙවියන්වහන්සේ ඉදිරියෙහි හරිද කියා නුඹලාම විනිශ්චයකරන්න. මක්නිසාද අප ඇසූ දුටු දේ ගැන කථානොකර සිටින්ට අපට නුපුළුවනැයි කීවෝය. සිද්ධවුණු දේ ගැන සියල්ලන් දෙවියන්වහන්සේට ප්‍රශංසාකළ බැවින්, සෙනඟ නිසා ඔවුන්ට දඬුවම්කරන්ට අන්දමක් නොදැක, ඔව්හු ඔවුන්ට තව දුරටත් තර්ජනයකොට යන්ට හැරියෝය. මක්නිසාද මේ ආශ්චර්යයෙන් සුවකරනු ලැබූ මනුෂ්‍යයා සතළිස් අවුරුද්දකට වඩා වයස්ව සිටියේය.