ක්‍රියා 26:4-23
ක්‍රියා 26:4-23 SROV
යෞවන අවස්ථාවේ පටන් මාගේ ජාතීන් අතරෙහිද යෙරුසලමෙහිද මාගේ හැසිරීම මුල පටන් සියලු යුදෙව්වරු දනිති. ඔවුන් සාක්ෂිදෙන්ට කැමති නම් අපේ ආගමේ ඉතා දෘඪතර ලබ්ධිය අනුව මා ඵරිසියෙක්ව ජීවත්වූ බව මුල පටන් මා අඳුනන ඔව්හු දනිති. දෙවියන්වහන්සේ විසින් අපේ පියවරුන්ට දෙනලද පොරොන්දුව බලා සිටීම ගැන මම දැන් විනිශ්චයකරනු ල බන්ට සිටිමි. අපගේ දොළොස් ගෝත්‍රයෝ රෑ දාවල් උනන්දුකමින් දෙවියන්වහන්සේට සේවයකරමින්, ඒ පොරොන්දුවට පැමිණෙන්ට බලාපොරොත්තුව සිටිති. රජ්ජුරුවනි, යුදෙව්වරුන් මට වරද තබන්නේ මේ බලාපොරොත්තුව ගැනයි. දෙවියන්වහන්සේ මළවුන් නැගුටුවනසේක් නම් එය විශ්වාසකරන්ට බැරි දෙයක්යයි මක්නිසා කල්පනාකරන්නහුද? නාසරිය යේසුස්වහන්සේගේ නාමයට විරුද්ධව බොහෝ දේ මා විසින් කටයුතුයයි මමත් සිතුවෙමි. එලෙසම යෙරුසලමේදීත් කෙළෙමි. නායක පූජකයන්ගෙන් බලය ලැබ, ශුද්ධවන්තයන්ගෙන් බොහෝ දෙනෙකු හිරගෙවල දැමුවෙමි, ඔවුන් මරණයට පත්කරන කල්හි ඊට කැමැත්තද දුනිමි. තවද සියලු සිනගෝගවලදී නොයෙක්විට ඔවුන්ට දඬුවම්කරමින්, ඔවුන් ලවා අපහාසකරවන්ට උත්සාහකෙළෙමි; මම ඔවුන් ගැන අතිශයෙන් උමතුව සිට, අන් නුවරවල් දක්වාත් ඔවුන්ට පීඩාකෙළෙමි. ඒ ගැන නායක පූජකයන්ගෙන් බලයද අවසරද ලැබ, දමස්කයට මා ගමන්කරද්දී, රජ්ජුරුවනි, මාර්ගයෙහිදී ඉරමුදුන් වේලෙහි, මාද මා සමඟ යන්නාවුන්ද වටකර සූර්ය තේජසට වැඩිවූ එළියක් බබළනවා දුටිමි. අප සියල්ලෝම බිම වැටුණු කල: සාවුල්, සාවුල්, නුඹ මට පීඩාකරන්නේ මක්නිසාද? කෙවිටට පයින් ගැසීම නුඹට අන්තරාදායකයයි හෙබ්‍රෙව් භාෂාවෙන් මට කියන්නාවූ ශබ්දයක් ඇසීමි. මමද: ස්වාමිනි, ඔබ කවුදැයි ඇසුවෙමි. ස්වාමීන්වහන්සේද: මම නම් නුඹ පීඩාකරන යේසුස්ය. නුමුත් නැගිට කෙලින් සිටින්න. මක්නිසාද යම් යම් දේ සඳහා නුඹ මා දුටුයෙහිද, නුඹට ප්‍රකාශවන්නෙම්ද, ඒ දේවල් ගැන නුඹ සේවකයෙක්ද සාක්ෂිකාරයෙක්ද කොට නියමකරන පිණිස මම නුඹට පෙනුණෙමි. සෙනඟගෙන්ද අන්‍යජාතීන්ගෙන්ද නුඹ ගළවන්නෙමි; මා කෙරෙහි ඇදහීමෙන් ඔවුන් පව්කමාවද පිරිසිදු කරනු ලැබූ අයවලුන් අතරෙහි උරුමයක්ද ලබන පිණිස, ඔවුන් අන්ධකාරයෙන් ආලෝකයටද සාතන්ගේ බලයෙන් දෙවියන්වහන්සේ වෙතටද හැරෙන ලෙස ඔවුන්ගේ ඇස් පහදවන්ට ඔවුන් වෙතට නුඹ යවමියි කීසේක. එසේහෙයින්, අග්‍රිපා රජ්ජුරුවනි, මම ස්වර්ගීය දර්ශනයට අකීකරු නොවී, පළමුකොට දමස්කයේද පසුව යෙරුසලමේද යූදා රට මුළුල්ලෙහිද වසන්නන්ටත්, අන්‍යජාතීන්ටත්, පසුතැවිලිව දෙවියන්වහන්සේ වෙතට හැරී, පසුතැවිල්ලට සුදුසු ක්‍රියාවන් කරන්ට කියා ප්‍රකාශකෙළෙමි. මේ කාරණය නිසා යුදෙව්වරු දේවමාළිගාවේදී මා අල්ලා මරන්ට හැදුවෝය. එසේවී නුමුත් දෙවියන්වහන්සේගෙන් වන පිහිට ලැබ, ලොකු කුඩා අයට සාක්ෂිදෙමින්, ක්‍රිස්තුස්වහන්සේ දුක්විඳින්ට ඕනෑ බව සහ පළමුකොට මළවුන්ගෙන් නැගිටීම කරණකොටගෙන උන්වහන්සේ සෙනඟටද අන්‍යජාතීන්ටද එළිය ප්‍රකාශ කරනසේකැයි යන අනාගතවක්තෘවරුන් විසින්ද මෝසෙස් විසින්ද මතු සිද්ධවන්නේයයි කියනලද කාරණා ගැන මිස වෙන කිසිවක් නොකියා අද දක්වා සිටිමියි කීයේය.

