ක්‍රියා 24:17-27

ක්‍රියා 24:17-27 SROV

ඉතින් අවුරුදු කීපයකට පසු මාගේ ජාතියට දානවල්ද පූජාද දෙන පිණිස ආවෙමි. ඒ අතරේදී සමූහයක්වත් කෝලාහලයක්වත් නැතුව, මා දේවමාළිගාවෙහි පවිත්‍රකරනු ලැබ සිටිනවා ඔවුන්ට සම්බවිය. එහෙත් ආසියාවේ සිට ආවාවූ සමහර යුදෙව්වරු එහි සිටියෝය. මට විරුද්ධව යමක් ඔවුන්ට තිබුණේ නම්, මට දෝෂාරෝපණයකරන පිණිස මෙහි ඔබ ඉදිරියට එන්ට ඔවුන්ට යුතුව තිබුණේය. නැතහොත්, මම මොවුන් අතරේ සිට: අද නුඹලා ඉදිරියේදී මා විචාරනු ලබන්නේ මළවුන්ගෙන් නැගිටීම ගැනයයි මොරගසා කී එකම කීම මිස, මා සභාව ඉදිරියෙහි සිටි කල මා අත මොන අපරාධයක් මොවුන්ට සම්බවුණද කියා මොව්හුම කියත්වයි කීවේය. නුමුත් පීලික්ස් ඒ මාර්ගය ගැන කාරණා වඩා හරිලෙස දැන සිටියේ, අධිපතිවූ ලිසියස් ආ කල නුඹලාගේ කාරණය තීන්දුකරන්නෙමියි කියා ඔවුන් නැවැත්තුවේය. තවද ඔහු රැකවල් කරන්ටත් ඔහුට නිදහස දෙන්ටත් ඔහුගේ මිත්‍රයන්ගෙන් කිසිවෙකු විසින් ඔහුට උපස්ථානකිරීම තහනම් නොකරන්ටත් සියයකට මුලාදෑනියාට ඔහු අණකෙළේය. කීප දවසකට පසු පීලික්ස් යුදෙව් ස්ත්‍රියෙක්වූ තමාගේ භාර්යාව වන දෘසිල්ලා සමඟ ඇවිත් පාවුල් ගෙන්වා, ක්‍රිස්තුස් යේසුස්වහන්සේ කෙරෙහි ඇත්තාවූ ඇදහිල්ල ගැන ඔහු කථාකරනවා ඇසුවේය. ඔහු ධර්මිෂ්ඨකමද පමණ දැන ක්‍රියාකිරීමද පැමිණෙන්නාවූ විනිශ්චයද ගැන කථාකරද්දී පීලික්ස් භයපත්ව: දැනට යන්න; මට ප්‍රස්තාවක් ලැබුණාම නුඹට අඬගස්වන්නෙමියි කීවේය. ඒ ඇර තමාට පාවුල් මුදල් දෙනවා ඇතැයි ඔහු බලාපොරොත්තුවුණේය. එබැවින් නැවත නැවත ඔහු කැඳවා ඔහු සමඟ කථාකෙළේය. නුමුත් දෑවුරුද්දක් සම්පූර්ණවූ කල පීලික්ස්ගේ නිලයට පොර්කියුස් පෙස්තුස් පත්කරනලද්දේය; පීලික්ස් වනාහි යුදෙව්වරුන් සතුටුකරනු කැමතිව පාවුල් නිදහස් නොකර ගියේය.