ක්‍රියා 22:22-30

ක්‍රියා 22:22-30 SROV

ඔව්හු මේ වචනය දක්වා ඔහුට ඇහුම්කන්දුන්නෝය; එවිට ඔව්හු ශබ්දනගා: මෙබඳු මනුෂ්‍යයා පොළොවෙන් අහක්කරන්න. මක්නිසාද මොහු ජීවත්වෙන්ට යුතු නැතැයි කිවෝය. ඔවුන් මොරගසමින්, තමුන්ගේ උතුරුසළු ගළවා වීසිකරමින්, ධූලි ඉහළට දමමින් සිටි බැවින්, අධිපතියා ඔහු කොටුවට ගෙනයන්ට අණකොට මොන කාරණයක් නිසා ඔව්හු ඔහුට විරුද්ධව එසේ මොරගැසුවෝදැයි දැනගන්නා පිණිස ඔහුට කසෙන් තළා විභාගකරන්ට නියමකෙළේය. නුමුත් ඔවුන් පටිවලින් ඔහුව බැන්ද විට පාවුල් කථාකොට: රෝමයෙක්වූ මනුෂ්‍යයෙකු විනිශ්චය නොකොට ඔහුට කසෙන් තළන්ට නුඹලාට අවසර තිබේදැයි ළඟ සිටියාවූ සියයකට මුලාදෑනියාට කීවේය. සියයකට මුලාදෑනියා ඒ අසා අධිපතියා ළඟට ගොස්: ඔබ මක්කරන්ට යනවාද? මේ මනුෂ්‍යයා රෝමයෙකැයි කීවේය. එවිට අධිපතියා ඇවිත්: නුඹ රෝමයෙක්ද කියා මට කියන්නැයි ඔහුට කීවේය. එසේයයි ඔහු කීවේය. අධිපතියා උත්තරදෙමින්: මම බොහෝ මිලදී මේ නාගරිකත්වය ලබාගතිමියි කීවේය; පාවුල්ද: මම රෝමයෙක්ව උපන්නෙමියි කීවේය. එබැවින් ඔහු විභාගකරන්ට සිටි අය එවෙල්ම ඔහු වෙතින් අහක්ව ගියෝය. ඔහු රෝමයෙක් බව දැනගත් කල ඔහු බැන්ද බැවින් අධිපතියාද භයවූයේය. පසුවදා, හෙතෙම යුදෙව්වරු මොන කාරණයක් ගැන ඔහුට වැරදි තබත්දැයි හරියාකාර දැනගන්ට කැමතිව, ඔහු මුදා, නායක පූජකයන්ට සහ මුළු මන්ත්‍රණ සභාවට රැස්වෙන්ට අණකොට, පාවුල් ගෙනැවිත් ඔවුන් ඉදිරියෙහි සිටෙවුවේය.

මෙයට අදාළ වීඩියෝ

ක්‍රියා 22:22-30 සම්බන්ධව නිදහස් කියවීමේ සැලසුම් සහ පූජනීයත්වය