ක්‍රියා 20:17-35
ක්‍රියා 20:17-35 SROV
ඔහු මිලේතසෙන් එපීසයට පණිවිඩ යවා, සභාවේ වැඩිමහල්ලන් කැඳවූයේය. ඔවුන් ඔහු ළඟට ආ කල ඔහු ඔවුන්ට කථාකොට: මා ආසියාවට ආ පළමුවෙනිදා පටන් මුළු කාලය නුඹලා සමඟ ගතකළ හැටි නුඹලා දන්නහුය. මම සිතේ සියලු ආකාර යටත්කමින්ද කඳුළුවලින්ද යුදෙව්වරුන්ගේ උපා නිසා පැමිණි අමාරුකම්වලින්ද යුක්තව, ස්වාමීන්වහන්සේට සේවයකෙළෙමි. ප්‍රයෝජනවත්වූ කිසි දෙයක් ප්‍රකාශකිරීමෙන් නොවැලකී, ප්‍රසිද්ධයෙන්ද ගෙයින් ගෙටද නුඹලාට උගන්වමින්, දෙවියන්වහන්සේ කෙරෙහි පසුතැවිල්ලත් අපගේ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඇදහිල්ලත් ගැන යුදෙව්වරුන්ට හා ග්‍රීක්වරුන්ට සාක්ෂිදුනිමි. දැන් ඉතින් ආත්මයෙන් බඳිනු ලැබ, මම යෙරුසලමට යමි, එහිදී මට මක්වේද කියා නොදනිමි. නුමුත් බැඳුම්ද දුක්ද මට පැමිණේයයි ශුද්ධාත්මයාණන් වහන්සේ සියලු නුවරවලදී සාක්ෂිදෙනසේක. නුමුත් මාගේ දිවීමද දෙවියන්වහන්සේගේ කරුණාවේ ශුභාරංචියට සාක්ෂිදෙන පිණිස ස්වාමිවූ යේසුස්වහන්සේගෙන් මට ලැබුණු මෙහෙයද සම්පූර්ණකිරීම පමණ මාගේ ජීවිතය වැදගත්ය නොහොත් මටම අගේය කියා මම කිසිසේත් නොසලකමි. ඉතින් රාජ්‍යය ගැන දේශනාකරමින් නුඹලා අතරෙහි ඇවිද්දාවූ මාගේ මුහුණ නුඹලා සියල්ලන් තවත් නොදකින බව දනිමි. එහෙයින් මම සියල්ලන්ගේ ලෙයින් නිදොස්වෙමියි අද දවසේ නුඹලාට සාක්ෂිදෙමි. මක්නිසාද දෙවියන්වහන්සේගේ මුළු අභිප්‍රාය නුඹලාට ප්‍රකාශකිරීමෙන් නොවැලකුණෙමි. දෙවියන්වහන්සේ විසින් තමන්ගේම රුධිරයෙන් මිලේට ගත් තමන්ගේ සභාව පෝෂණයකරන්ට ශුද්ධාත්මයාණන් වහන්සේ යම් රැළෙක්හි නුඹලා නායකයන් කොට නියමකළසේක්ද, ඒ මුළු රැළ ගැනත් නුඹලාම ගැනත් ප්‍රවේසම්වෙන්න. මාගේ පිටත්ව යාමෙන් පසු රැළට අනුකම්පා නොකරන රෞද්‍රවූ වෘකයන් නුඹලා අතරට පැමිණෙන බව දනිමි; නුඹලා අතරෙන්ම මනුෂ්‍යයන් නැගිට, තමුන් පස්සේ යන්ට ගෝලයන් ඇදගන්නා පිණිස කාරණා පෙරළා කථාකරනවා ඇත. එබැවින් මා තුන් අවුරුද්දක් මුළුල්ලෙහි රෑ දාවල් දෙකේ කඳුළුවලින් යුක්තව සියල්ලන්ට නිරතුරු අවවාද දුන් බව සිහිකොට, අවදිව සිටින්න. දැන් දෙවියන්වහන්සේටද, නුඹලා ඉදිකරන්ටත් පිරිසිදුකරනලද සියල්ලන් අතරෙහි නුඹලාට උරුමයක් දෙන්ටත් හැකිවූ උන්වහන්සේගේ අනුග්‍රහයේ වචනයටද නුඹලා භාරදෙමි. කිසිවෙකුගේ රිදීයටවත් රනටවත් ඇඳුම්වලටවත් ආශා නොවීමි. මටත් මා සමඟ සිටියවුන්ටත් වුවමනාවූ දේ සපයාගැනීමට මේ අත්වලින් වැඩකළ බව නුඹලාම දන්නහුය. මෙසේ වැඩකරමින් නුඹලා දුර්වලයන්ට උපකාර කටයුතු බවද: ගැනීමට වඩා දීම ආශීර්වාදයකැයි ස්වාමිවූ යේසුස්වහන්සේම කී වචන සිහිකටයුතු බවද පෙන්වා සියල්ලේදී නුඹලාට ආදර්ශයක් වූයෙමියි කීවේය.

