ක්‍රියා 2:14-36

ක්‍රියා 2:14-36 SROV

නුමුත් පේතෘස් එකොළොස්දෙනා සමඟ නැගිට ශබ්දනගා ඔවුන්ට කියනුයේ: යුදයේ මනුෂ්‍යයෙනි, යෙරුසලමේ වසන සියල්ලෙනි, මේක දැනගන්න. මාගේ වචනවලට කන්දෙන්න. මක්නිසාද දැනට දවල් තුන්වෙනි පැය පමණක් බැවින් නුඹලා සිතන්නා සේ මොවුන් මත්වෙලා නොවේ. නුමුත් මේ වනාහි අනාගතවක්තෘවූ යෝවෙල් කරණකොටගෙන කියනලද කාරණයය. කෙසේදයත්: අන්තිම දවස්වලදී මාගේ ආත්මය සියලු මනුෂ්‍යයන් පිට වගුරුවන්නෙමි. නුඹලාගේ පුත්‍රයෝද දූවරුද අනාගතවාක්‍ය කියන්නෝය, නුඹලාගේ තරුණයෝද දර්ශන දකින්නෝය. නුඹලාගේ මහල්ලන්ද ස්වප්න දකිනවා ඇත. එසේය, ඒ දවස්වලදී මාගේ දාස දාසීන් කෙරෙහි මාගේ ආත්මය වගුරුවන්නෙමි; ඔව්හු අනාගතවාක්‍ය කියන්නෝය. තවද උඩ අහසෙහි පුදුමද පාත පොළොවෙහි ලකුණුද වන ලේ සහ ගිනිත් දුම් වලාපටලත් දක්වන්නෙමි. ස්වාමීන්වහන්සේගේ මහත්වූ තේජවත්වූ ඒ දවස එන්ට පළමුවෙන් ඉර අඳුරුවන්නේය, හඳ ලේ වන්නේය. ස්වාමීන්වහන්සේගේ නාමයෙන් යාච්ඤාකරන කවරේත් ගළවනු ලබන්නේයයි දෙවියන්වහන්සේ කියනසේක යනුයි. ඉශ්‍රායෙල් මනුෂ්‍යයෙනි, මේ වචන අසන්න–නුඹලාම දන්නා ලෙස නුඹලා අතරේ දෙවියන්වහන්සේ විසින් නාසරිය යේසුස්වහන්සේ ලවා කරවනලද බලවත් ක්‍රියාවලින්ද පුදුමවලින් ද ලකුණුවලින් ද දෙවියන්වහන්සේ විසින් ඒත්තුගනු ලැබූ මනුෂ්‍යයෙක්වූ එම යේසුස්වහන්සේ, දෙවියන්වහන්සේගේ නියමවූ මන්ත්‍රණය සහ පෙරදැනගැන්ම ලෙස භාරදෙනලදුව, නුඹලා ව්‍යවස්ථාව නොසලකන අය ලවා කුරුසියෙහි ඇණගස්වා මැරවුවහුය. නුමුත් දෙවියන්වහන්සේ මරණ වේදනාවෙන් උන්වහන්සේ මුදා නැගිටෙවුසේක. කුමක්හෙයින්ද උන්වහන්සේ නවතාගන සිටින්ට මරණයට නුපුළුවන් විය. මක්නිසාද දාවිත් උන්වහන්සේ ගැන කථාකරමින්: ස්වාමීන්වහන්සේ නිතරම මා ඉදිරියෙහි සිටිනවා දුටිමි; මා සොලවනු නොලබන පිණිස උන්වහන්සේ මාගේ දකුණු පැත්තෙහි සිටිනසේක. එහෙයින් මාගේ සිත සන්තෝෂවිය, මාගේ දිව ප්‍රීතිවිය; තවද මාගේ මාංසය බලාපොරොත්තුවෙන් වසන්නේය. මක්නිසාද ඔබවහන්සේ මාගේ ආත්මය පාතාලයේ නවතින්ටවත් ඔබගේ ශුද්ධ තැනන්වහන්සේ කුණු වෙන්ටවත් ඉඩ නොදෙනසේක. ඔබ ජීවනයේ මාර්ගයන් මට දැන්වූසේක; ඔබගේ මුහුණෙන් ඔබ මා සන්තෝෂයෙන් පූර්ණකරනසේකැයි කීය. සහෝදරයෙනි, කුලජ්‍යෙෂ්ඨවූ දාවිත් මැරී තැන්පත්කරනු ලැබූ බව භය නැතුව කියන්ට පුළුවන, ඔහුගේ සොහොන්ගෙය අද දක්වා අප අතරේ තිබේ. එහෙයින් ඔහු අනාගතවක්තෘ කෙනෙක්ව, ඔහුගේ වංශයෙන් කෙනෙකු ඔහුගේ සිංහාසනය පිට හිඳුවනසේකැයි දෙවියන්වහන්සේ දිවුරුමකින් ඔහුට දිවුළ බව දැනගත්තේය. ඔහු මෙය කලින් දැක ක්‍රිස්තුස්වහන්සේගේ මළවුන්ගෙන් නැගිටීම ගැන කථාකරමින් උන්වහන්සේගේ පාතාලයේ නවතින්ට හරිනු නොලැබූ බවත් උන්වහන්සේගේ මාංසය කුණු නොවූ බවත් කීවේය. මෙම යේසුස්වහන්සේ දෙවියන්වහන්සේ විසින් නැගිටෙවුසේක, ඊට අපි සියල්ලෝ සාක්ෂිකාරයෝය. එහෙයින් උන්වහන්සේ දෙවියන්වහන්සේගේ දකුණතින් උසස්කරනු ලැබ, පොරොන්දුවූ ශුද්ධාත්මයාණන් වහන්සේ පියාණන්වහන්සේගෙන් ලබා, නුඹලා අසන දකින මේ දේ වැගිරෙවුසේක. මක්නිසාද දාවිත් ස්වර්ගයට නැගුණේ නැත. නමුත් ඔහු කථා කොට: මා විසින් නුඹේ සතුරන් නුඹේ පාපුටුව කරන තෙක් මාගේ දකුණු පැත්තේ හිඳගන්නැයි ස්වාමීන්වහන්සේ මාගේ ස්වාමීන්වහන්සේට කීසේකැයි ඔහුම කියයි. එබැවින් නුඹලා විසින් කුරුසියෙහි ඇණගැසුවාවූ මෙම යේසුස්වහන්සේ දෙවියන්වහන්සේ විසින් ස්වාමීන්වහන්සේද ක්‍රිස්තුස්වහන්සේද කරනු ලැබූ බව ඉශ්‍රායෙල්ගේ මුළු වංශය නිසැකව දැනගනීවයි කීවේය.