ක්‍රියා 19:1-10

ක්‍රියා 19:1-10 SROV

තවද අපොල්ලොස් කොරින්තියෙහි සිටියදී පාවුල් ඉහළ පළාත් මැදින් ගොස්, එපීසයට ඇවිත්: සමහර ගෝලයන් සම්බව: නුඹලා අදහාගත් කල ශුද්ධාත්මයාණන්වහන්සේ ලැබුවහුදැයි ඔවුන්ගෙන් ඇසුවේය. ඔව්හු: නැත, ශුද්ධාත්මයාණන්වහන්සේ ඇති බවවත් නොඇසීමුයයි කීවෝය. එසේවී නම් නුඹලා මොන බව්තීස්මයක් ලැබුවහුදැයි ඔහු ඇසුවේය. යොහන්ගේ බව්තීස්මයයයි ඔව්හු කීවෝය. පාවුල් කථාකොට: යොහන් පසුතැවිල්ලේ බව්තීස්මයෙන් බව්තීස්මකොට සෙනඟට කථාකරමින්, තමාට පසුව එන තැනන්වහන්සේ කෙරෙහි, එනම් යේසුස්වහන්සේ කෙරෙහි, අදහාගන්න ලෙස සෙනඟට කීවේයයි කීය. ඔව්හු ඒ අසා ස්වාමිවූ යේසුස්වහන්සේගේ නාමයට බව්තීස්මකරනු ලැබුවෝය. පාවුල් ඔවුන් පිට අත් තැබූ කල ශුද්ධාත්මයාණන්වහන්සේ ඔවුන් කෙරෙහි පැමිණිසේක; ඔව්හු අන්‍ය භාෂාවලින් කථාකරමින් අනාගතවාක්‍ය කීවෝය. ඒ මනුෂ්‍යයන් සියල්ලෝම දොළොස් දෙනෙක් පමණ වූවෝය. ඔහු සිනගෝගයට ඇතුල්වී දෙවියන්වහන්සේගේ රාජ්‍යය සම්බන්ධ කාරණා ගැන තර්කකරමින්ද උගන්වමින්ද තුන්මසක් අතරතුරේ භය නැතුව කථාකෙළේය. නුමුත් සමහරු මුරණ්ඩුව, අකීකරුව, සමූහයා ඉදිරියෙහි ඒ ලබ්ධි මාර්ගය ගැන දොස් කී කල්හි ඔහු ඔවුන් ළඟින් අහක්ව, ගෝලයන් වෙන්කරගන, තුරානස්ගේ ශිල්ප ශාලාවෙහි දවස්පතා තර්කකරමින් සිටියේය. මෙය දෑවුරුද්දක් කෙරීගන ගියේය; මෙසේ ආසියාවේ විසූ සියල්ලෝ වන යුදෙව්වරුද ග්‍රීක්වරුද ස්වාමීන්වහන්සේගේ වචනය ඇසූහ.