ක්‍රියා 15:1-12

ක්‍රියා 15:1-12 SROV

යුදයෙන් සමහර දෙනෙක් ඇවිත්: මෝසෙස්ගේ නියෝගය ලෙස නුඹලා චර්මඡේදයකරනු නොලැබුවොත් නුඹලාට ගැළවෙන්ට නුපුළුවනැයි සහෝදරයන්ට ඉගැන්නුවෝය. එහෙයින් පාවුල්ද බාර්ණබස්ද ඔවුන් සමඟ මහත් භේදයක් සහ වාදයක් ඇතිවූ කල්හි, පාවුල් සහ බාර්ණබස්ද ඔවුන්ගෙන් තවත් සමහරෙක්ද මේ ප්‍රශ්නය ගැන ප්‍රේරිතයන් සහ වැඩිමහල්ලන්ගෙන් විචාරන පිණිස යෙරුසලමට යන්ට නියමකරනු ලැබුවෝය. එබැවින් ඔව්හු සභාව විසින් ඇරලන ලදුව, පෙනීකියද සමාරියද මැදින් ගොස්, අන්‍යජාතීන්ගේ හැරීම ප්‍රකාශකරමින්, සියලු සහෝදරයන්ට මහත් ප්‍රීතියක් ඉපදෙවූවෝය. ඔව්හු යෙරුසලමට පැමිණි කල සභාව විසින්ද ප්‍රේරිතයන් සහ වැඩිමහල්ලන් විසින්ද පිළිගන්නාලදුව, දෙවියන්වහන්සේ තමුන් ලවා කෙරෙවු සියලු දේ දැන්වුවෝය. නුමුත් අදහාගත්තාවූ, ඵරිසිවරුන්ගේ ලබ්ධියට අයිතිවූ සමහරෙක් නැගිට, චර්මඡේදයකරන්ටත් මෝසෙස්ගේ ව්‍යවස්ථාව රක්ෂාකරන ලෙස ඔවුන්ට අණකරන්ටත් ඕනෑයයි කීවෝය. ප්‍රේරිතයෝද වැඩිමහල්ලෝද මේ කාරණාව ගැන කල්පනාකර බලන පිණිස රැස්වූහ. බොහෝ වාද හටගත් පසු පේතෘස් නැගිට ඔවුන්ට කියනුයේ: සහෝදරයෙනි, අන්‍යජාතීන් මාගේ මුඛයෙන් ශුභාරංචිය අසා අදහන පිණිස, බොහෝ කලකට පළමුවෙන් දෙවියන්වහන්සේ නුඹලා අතරෙන් මා තෝරාගත් බව නුඹලා දන්නහුය. සිත් දන්නාවූ දෙවියන්වහන්සේ අපට මෙන්ම ඔවුන්ටත් ශුද්ධාත්මය දී, ඔවුන් ගැන සාක්ෂිදුන්සේක; උන්වහන්සේ ඔවුන් සහ අප අතරේ කිසි වෙනසක් නොකොට, ඇදහිල්ල කරණකොටගෙන ඔවුන්ගේ සිත් පවිත්‍රකළසේක. එබැවින් අපගේ පියවරුන්ටවත් අපටවත් දරන්ට නොහැකිවුණු වියගහක් ගෝලයන්ගේ කරේ තැබීමෙන් නුඹලා කුමක් නිසා දෙවියන්වහන්සේව පරීක්ෂා කරවුද? එසේ නොව ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ අනුග්‍රහය කරණකොටගෙන ඔවුන් මෙන් අපත් ගළවනු ලබන බව විශ්වාසකරමුයයි කීවේය. එවිට මුළු සමූහයා නිශ්ශබ්දව සිටියෝය; තවද පාවුල් සහ බාර්ණබස් තමුන් ලවා දෙවියන්වහන්සේ අන්‍ය ජාතීන් අතරේ කොපමණ මහත් ලකුණු සහ පුදුම කෙරෙවූසේක්දැයි කියනවා ඔව්හු අසාගන සිටියෝය.