ක්‍රියා 13:4-14

ක්‍රියා 13:4-14 SROV

මෙසේ ඔව්හු ශුද්ධාත්මයාණන් විසින් යවනලදුව සිලුකියට බැසගොස්, එහිදී නැව් නැගී කුප්‍රසට ගියෝය. ඔව්හු සලමියට පැමිණි කල, යුදෙව්වරුන්ගේ සිනගෝගවලදී දෙවියන්වහන්සේගේ වචනය ප්‍රකාශකළෝය. යොහන් ඔවුන්ගේ සේවකයාව සිටියේය. ඔව්හු මුළු දිවයින මැදින් පාපස් දක්වා ගිය කල, එක්තරා මායාකාරයෙක් වන බොරු අනාගතවක්තෘ කෙනෙක්වූ බාර්-යේසුස් නම් යුදෙව් මනුෂ්‍යයෙකු දුටුවෝය. ඔහු බුද්ධිමත් මනුෂ්‍යයෙක්වූ සර්ගියස් පාවුලස් නම් අධිපතියා සමඟ සිටියේය. ඒ අධිපති තෙමේ බාර්ණබස් සහ සාවුල් කැඳවාගෙන, දෙවියන්වහන්සේගේ වචනය අහන්ට ආශාවුණේය. නුමුත් මායාකාර යන අර්ථ ඇති එලිමස් නම් තැනැත්තේ අධිපතියා ඇදහීමෙන් ඉවතට හරවාගන්ට අදහස්කරමින්, ඔවුන්ට විරුද්ධව සිටියේය. නුමුත් පාවුල් යන නමක්ද ඇති සාවුල් ශුද්ධාත්මයෙන් පූර්ණව, ඔහු දෙස ඇස් යොමා: සියලු වංචාවෙන් හා සියලු දුෂ්ටකමින් පූර්ණවූ තැනැත්ත, යක්ෂයාගේ පුත්‍රය, සියලු ධර්මිෂ්ඨකමට සතුරුවූ නුඹ ස්වාමීන්වහන්සේගේ හරි මාර්ගයන් පෙරළීමෙන් නවතින්නේ නැද්ද? ඉදින්, මෙන්න, ස්වාමීන්වහන්සේගේ හස්තය නුඹ පිට තිබේ, නුඹ අන්ධවී කලකට ඉර නොදක්නෙහියයි කීවේය. එකෙණෙහිම දුමාරයක්ද අඳුරක්ද ඔහු පිටට පැමුණුණේය; ඔහුද තමාගේ අත අල්ලාගෙන යන්ට මිනිසුන් සොයමින් ඇවිද්දේය. එකල අධිපති තෙමේ සිද්ධවූ දේ දැක, ස්වාමීන්වහන්සේගේ ඉගැන්වීමට විස්මපත්ව, අදහාගත්තේය. පාවුල්ද ඔහු සමඟ සිටියෝද පාපස් කෙරෙන් නැව් නැගී ගොස්, පම්පිලියේ පර්ගායට පැමුණුණෝය. එවිට යොහන් ඔවුන් කෙරෙන් අහක්වී යෙරුසලමට හැරී ගියේය. නුමුත් ඔව්හු පාර්ගායෙන් පිටත්ව ගමන්කොට, පිසිදියේ අන්තියෝකියාට ඇවිත් සබත් දවසේදී සිනගෝගයට ඇතුල්වී හිඳගත්තෝය.