ක්‍රියා 13:13-31

ක්‍රියා 13:13-31 SROV

පාවුල්ද ඔහු සමඟ සිටියෝද පාපස් කෙරෙන් නැව් නැගී ගොස්, පම්පිලියේ පර්ගායට පැමුණුණෝය. එවිට යොහන් ඔවුන් කෙරෙන් අහක්වී යෙරුසලමට හැරී ගියේය. නුමුත් ඔව්හු පාර්ගායෙන් පිටත්ව ගමන්කොට, පිසිදියේ අන්තියෝකියාට ඇවිත් සබත් දවසේදී සිනගෝගයට ඇතුල්වී හිඳගත්තෝය. ව්‍යවස්ථාවද අනාගතවාක්‍යයද කියෙවු පසු සිනගෝගයේ මුලාදෑනීහු: සහෝදරයෙනි, සෙනඟට අවවාද වචනයක් නුඹලාට ඇත්නම් කියන්නැයි ඔවුන්ට කියා යැවුවෝය. එවිට පාවුල් නැගිට සිට අතින් සංඥාකොට: ඉශ්‍රායෙල් මනුෂ්‍යයෙනි, දෙවියන්වහන්සේ කෙරෙහි භය ඇත්තෙනි, ඇහුම්කන්දෙන්න. මේ ඉශ්‍රායෙල් සෙනඟගේ දෙවියන්වහන්සේ අපේ පියවරුන් තෝරාගන, මිසර දේශයෙහි විදේශීව සිටියදී සෙනඟ උසස්කොට, බලවත් බාහුවකින් ඔවුන් එයින් පිටතට ගෙනාසේක. උන්වහන්සේ සතළිස් අවුරුද්දක් පමණ කාලයක් වනයෙහිදී ඔවුන්ගේ හැසිරීම ගැන ඉවසිල්ලෙන් සිටිසේක. උන්වහන්සේ කානාන් දේශයේ ජාතීන් හතක් විනාශකොට, අවුරුදු හාරසිය පනහක් පමණ කාලයකට ඒ ජාතීන්ගේ දේශය උරුමයක් කොට ඔවුන්ට දුන්සේක. එයින් පසු අනාගතවක්තෘවූ සාමුවෙල් දක්වා උන්වහන්සේ ඔවුන්ට විනිශ්චයකාරයන් දුන්සේක. ඉන්පසු ඔව්හු රජෙකු ඉල්ලුවෝය. දෙවියන්වහන්සේ බෙන්යමින්ගේ ගෝත්‍රයේ මනුෂ්‍යයෙක්වූ කීෂ්ගේ පුත්‍රවූ සාවුල් සතළිස් අවුරුද්දකට ඔවුන්ට දුන්සේක. උන්වහන්සේ ඔහු අහක්කොට, දාවිත් ඔවුන්ගේ රජවන පිණිස නැගිටෙවුසේක. උන්වහන්සේ ඔහු ගැන සාක්ෂිදෙමින්: යෙස්සේගේ පුත්‍රවූ, මාගේ සිතට එකඟ මනුෂ්‍යයෙක්වූ, මාගේ මුළු කැමැත්ත කරන්නාවූ දාවිත් මට සම්බවීයයි කීසේක. ඔහුගේ වංශයෙන් දෙවියන්වහන්සේ පොරොන්දුවූ ලෙස ඉශ්‍රායෙල්ට යේසුස් නම් ගැළවුම්කාරයෙකු පමුණුවා දුන්සේක. උන්වහන්සේගේ ඊමට පෙර යොහන් ඉශ්‍රායෙල්ගේ මුළු සෙනඟට පශ්චාත්තාපයේ බව්තීස්මය ප්‍රකාශ කෙළේය. තවද යොහන් තමාගේ මෙහෙය ඉෂ්ටකරමින් සිටියදී: මම කවුරුය කියා නුඹලා සිතවුද? මම උන්වහන්සේ නොවෙමි. බලව, මට පසුව කෙනෙක් එනසේක, උන්වහන්සේගේ පාදවල වහන් මුදන්ටවත් මම නොවටිමියි කීවේය. සහෝදරයෙනි, ආබ්‍රහම්ගේ වංශයේ පුත්‍රයෙනි, නුඹලා අතරේ දෙවියන්වහන්සේ කෙරෙහි බය ඇත්තෙනි, මේ ගැළවීමේ වචනය එවනලද්දේ අපටය. මක්නිසාද යෙරුසලමෙහි වසන්නෝද ඔවුන්ගේ මුලාදෑනිවරුද උන්වහන්සේවත් සියලු සබත් දවස්වල කියවෙන අනාගතවක්තෘවරුන්ගේ හඬවත් නොදැන, උන්වහන්සේ වරදට පත්කිරීමෙන් ඒවා සම්පූර්ණකළෝය. උන්වහන්සේ කෙරෙහි මරණයට සුදුසු කිසිවක් සම්බ නූණ නුමුත්, උන්වහන්සේව මරන ලෙස ඔව්හු පිලාත්ගෙන් ඉල්ලුවෝය. උන්වහන්සේ ගැන ලියා තිබුණු සියල්ල ඔවුන් සම්පූර්ණකළ විට, ගසෙන් උන්වහන්සේව බාගෙන, සොහොන්ගෙයක තැබුවෝය. නුමුත් දෙවියන්වහන්සේ උන්වහන්සේව මළවුන්ගෙන් නැගිටෙවුසේක. උන්වහන්සේ තමන්වහන්සේ සමඟ ගලීලයෙන් යෙරුසලමට ගියවුන්ට බොහෝ දවසක් පෙනි පෙනී සිටිසේක. ඔව්හු දැන් සෙනඟට උන්වහන්සේගේ සාක්ෂිකාරයෝය.