අන්තියෝකියේ පිහිටි සභාවෙහි ප්‍රොපේතවරු සහ ගුරුවරු සිටියෝය; එනම්, බාර්ණබස් සහ නීගර් නම් සිමියොන්ද කිරේනියේ ලුකියස්ද දේශාධිපතිවූ හෙරොද් සමඟ ඇතිදැඩිවුණාවූ මානායින්ද සාවුල්ද යන අයවල්ය. ඔවුන් ස්වාමීන්වහන්සේට මෙහෙකරමින් නිරාහාරයෙන් උන් කල, ශුද්ධාත්මයාණන්වහන්සේ කථාකොට: මා විසින් බාර්ණබස්ද සාවුල්ද කැඳවූ වැඩය පිණිස ඔවුන් මට වෙන්කරන්නැයි කීසේක. එවිට ඔව්හු නිරාහාරයෙන් හිඳ යාච්ඤාකොට ඔවුන් පිට අත් තබා, ඔවුන් පිටත්කර හැරියෝය.
මෙසේ ඔව්හු ශුද්ධාත්මයාණන් විසින් යවනලදුව සිලුකියට බැසගොස්, එහිදී නැව් නැගී කුප්‍රසට ගියෝය. ඔව්හු සලමියට පැමිණි කල, යුදෙව්වරුන්ගේ සිනගෝගවලදී දෙවියන්වහන්සේගේ වචනය ප්‍රකාශකළෝය. යොහන් ඔවුන්ගේ සේවකයාව සිටියේය. ඔව්හු මුළු දිවයින මැදින් පාපස් දක්වා ගිය කල, එක්තරා මායාකාරයෙක් වන බොරු අනාගතවක්තෘ කෙනෙක්වූ බාර්-යේසුස් නම් යුදෙව් මනුෂ්‍යයෙකු දුටුවෝය. ඔහු බුද්ධිමත් මනුෂ්‍යයෙක්වූ සර්ගියස් පාවුලස් නම් අධිපතියා සමඟ සිටියේය. ඒ අධිපති තෙමේ බාර්ණබස් සහ සාවුල් කැඳවාගෙන, දෙවියන්වහන්සේගේ වචනය අහන්ට ආශාවුණේය. නුමුත් මායාකාර යන අර්ථ ඇති එලිමස් නම් තැනැත්තේ අධිපතියා ඇදහීමෙන් ඉවතට හරවාගන්ට අදහස්කරමින්, ඔවුන්ට විරුද්ධව සිටියේය. නුමුත් පාවුල් යන නමක්ද ඇති සාවුල් ශුද්ධාත්මයෙන් පූර්ණව, ඔහු දෙස ඇස් යොමා: සියලු වංචාවෙන් හා සියලු දුෂ්ටකමින් පූර්ණවූ තැනැත්ත, යක්ෂයාගේ පුත්‍රය, සියලු ධර්මිෂ්ඨකමට සතුරුවූ නුඹ ස්වාමීන්වහන්සේගේ හරි මාර්ගයන් පෙරළීමෙන් නවතින්නේ නැද්ද? ඉදින්, මෙන්න, ස්වාමීන්වහන්සේගේ හස්තය නුඹ පිට තිබේ, නුඹ අන්ධවී කලකට ඉර නොදක්නෙහියයි කීවේය. එකෙණෙහිම දුමාරයක්ද අඳුරක්ද ඔහු පිටට පැමුණුණේය; ඔහුද තමාගේ අත අල්ලාගෙන යන්ට මිනිසුන් සොයමින් ඇවිද්දේය. එකල අධිපති තෙමේ සිද්ධවූ දේ දැක, ස්වාමීන්වහන්සේගේ ඉගැන්වීමට විස්මපත්ව, අදහාගත්තේය.
පාවුල්ද ඔහු සමඟ සිටියෝද පාපස් කෙරෙන් නැව් නැගී ගොස්, පම්පිලියේ පර්ගායට පැමුණුණෝය. එවිට යොහන් ඔවුන් කෙරෙන් අහක්වී යෙරුසලමට හැරී ගියේය. නුමුත් ඔව්හු පාර්ගායෙන් පිටත්ව ගමන්කොට, පිසිදියේ අන්තියෝකියාට ඇවිත් සබත් දවසේදී සිනගෝගයට ඇතුල්වී හිඳගත්තෝය. ව්‍යවස්ථාවද අනාගතවාක්‍යයද කියෙවු පසු සිනගෝගයේ මුලාදෑනීහු: සහෝදරයෙනි, සෙනඟට අවවාද වචනයක් නුඹලාට ඇත්නම් කියන්නැයි ඔවුන්ට කියා යැවුවෝය. එවිට පාවුල් නැගිට සිට අතින් සංඥාකොට: ඉශ්රායෙල් මනුෂ්‍යයෙනි, දෙවියන්වහන්සේ කෙරෙහි භය ඇත්තෙනි, ඇහුම්කන්දෙන්න. මේ ඉශ්රායෙල් සෙනඟගේ දෙවියන්වහන්සේ අපේ පියවරුන් තෝරාගන, මිසර දේශයෙහි විදේශීව සිටියදී සෙනඟ උසස්කොට, බලවත් බාහුවකින් ඔවුන් එයින් පිටතට ගෙනාසේක. උන්වහන්සේ සතළිස් අවුරුද්දක් පමණ කාලයක් වනයෙහිදී ඔවුන්ගේ හැසිරීම ගැන ඉවසිල්ලෙන් සිටිසේක. උන්වහන්සේ කානාන් දේශයේ ජාතීන් හතක් විනාශකොට, අවුරුදු හාරසිය පනහක් පමණ කාලයකට ඒ ජාතීන්ගේ දේශය උරුමයක් කොට ඔවුන්ට දුන්සේක. එයින් පසු අනාගතවක්තෘවූ සාමුවෙල් දක්වා උන්වහන්සේ ඔවුන්ට විනිශ්චයකාරයන් දුන්සේක. ඉන්පසු ඔව්හු රජෙකු ඉල්ලුවෝය. දෙවියන්වහන්සේ බෙන්යමින්ගේ ගෝත්‍රයේ මනුෂ්‍යයෙක්වූ කීෂ්ගේ පුත්‍රවූ සාවුල් සතළිස් අවුරුද්දකට ඔවුන්ට දුන්සේක. උන්වහන්සේ ඔහු අහක්කොට, දාවිත් ඔවුන්ගේ රජවන පිණිස නැගිටෙවුසේක. උන්වහන්සේ ඔහු ගැන සාක්ෂිදෙමින්: යෙස්සේගේ පුත්‍රවූ, මාගේ සිතට එකඟ මනුෂ්‍යයෙක්වූ, මාගේ මුළු කැමැත්ත කරන්නාවූ දාවිත් මට සම්බවීයයි කීසේක. ඔහුගේ වංශයෙන් දෙවියන්වහන්සේ පොරොන්දුවූ ලෙස ඉශ්රායෙල්ට යේසුස් නම් ගැළවුම්කාරයෙකු පමුණුවා දුන්සේක.