ක්‍රියා 11:4-18

ක්‍රියා 11:4-18 SROV

නුමුත් පේතෘස් ඒ කාරණය මුල පටන් ක්‍රමයෙන් ඔවුන්ට කියාදෙන්ට පටන්ගෙන: මම යොප්පා නුවර යාච්ඤාකරමින් සිටි කල මූර්ඡාවූයෙම්, සතර කොනෙන් අහසෙන් බස්වනලද මහත් ඇතිරිල්ලක් වැනිවූ එක්තරා භාජනයක් බැස එනවා දර්ශනයෙන් දුටිමි; ඒක මා ළඟටම පැමිණියේය. ඒ දෙස මාගේ ඇස් යොමා කල්පනාකළ විට, පොළොවේ සිවුපාවුන්ද වන මෘගයන්ද බඩගාන ජාතීන්ද ආකාශ පක්ෂීන්ද දුටිමි. පේතෘස්, නැගිට මරා කන්නැයි මට කියන ශබ්දයකුත් ඇසීමි. මමද: ස්වාමිනි, එසේ නොවේවා. මක්නිසාද අකැපවූ අපවිත්‍රවූ දෙයක් කිසි කලෙකත් මාගේ කටට ඇතුල් නොවීයයි කීවෙමි. නුමුත් ශබ්දයක් දෙවෙනි වාරයෙහි අහසෙන් මට උත්තරදෙමින්: දෙවියන්වහන්සේ පවිත්‍රකළ දේ නුඹ අකැපයයි නොකියන්නැයි කීය. තුන්වරක්ම මෙය කරනලද්දේය. නැවත සියල්ල අහසට ඇදගන්නාලද්දේය. තවද එවේලේම කායිසාරියෙන් මා ළඟට එවනලද මනුෂ්‍යයෝ තුන්දෙනෙක් අප උන් ගෙය ඉදිරියෙහි සිටියෝය. ආත්මයාණන්වහන්සේද, ප්‍රභේදයක් නොකොට ඔවුන් සමඟ යන ලෙස මට අණකළසේක. මේ සහෝදරයන් සදෙනාත් මා සමඟ ගියෝය; අපි ඒ මනුෂ්‍යයාගේ ගෙට ඇතුල්වුණෙමුව. එවිට ඔහු තමාගේ ගෙයි දේවදූතයා සිටිනවා දුටු හැටිත්, යොප්පාවට මනුෂ්‍යයන් යවා පේතෘස් නම්ලත් සීමොන් කැඳවන්න, ඔහු වනාහි නුඹ සහ නුඹේ ගෙයි වැසි සියල්ලන්ද ගැළවීමට පමුණුවන්නාවූ වචන නුඹට කියන්නේයයි තමාට කී බවත් අපට දැන්වූයේය. මා කථාකරන්ට පටන්ගත් කල, ශුද්ධාත්මයාණන්වහන්සේ මුලදී අප කෙරෙහි මෙන්ම ඔවුන් කෙරෙහිත් පහළවූසේක. එකල: යොහන් වතුරෙන් බව්තීස්මකෙළේය, නුඹලා ශුද්ධාත්මයෙන් බව්තීස්ම ලබන්නහුයයි ස්වාමීන්වහන්සේ කී වචනය මට මතක්විය. එහෙයින් යේසුස් ක්‍රිස්තුස්වහන්සේව අදහාගත් කල්හි අපට දුන්නාක්මෙන්ම දෙවියන්වහන්සේ ඔවුන්ටත් එම දීමනාව දුන් බැවින්, දෙවියන්වහන්සේට විරුද්ධව සිටින්ට මම කවරෙක්දැයි කීවේය. ඔව්හු ඒ අසා, නිශ්ශබ්දවී, දෙවියන්වහන්සේට ප්‍රශංසාකරමින්: එසේවී නම් දෙවියන්වහන්සේ අන්‍යජාතීන්ටත් ජීවනය පිණිස වූ පශ්චාත්තාපය දුන්සේකැයි කීවෝය.