ක්‍රියා 10:9-33

ක්‍රියා 10:9-33 SROV

පසුවදා ඔවුන් ගමන්කොට ඒ නුවරට ළංවනකල, පේතෘස් සවෙනි පැය පමණේදී යාච්ඤාකරන්ට ගේ උඩට ගියේය. ඔහු බඩගිනිව, කෑම කන්ට කැමති වූයේය. නුමුත් ඔවුන් එය පිළියෙළ කරද්දී ඔහු මූර්ඡාවිය. එවිට අහස විවරව, සතර කොනින් මහත් ඇතිරිල්ලක් වැනිවූ එක්තරා භාජනයක් පොළොවට බැස එනවා ඔහු දුටුවේය. පොළොවේ සියලු ආකාර සිවුපාවෝද බඩගාන ජාතීහුද ආකාශයේ පක්ෂීහුද එහි සිටියෝය. පේතෘස්, නැගිට, මරා කන්න යන හඬක් ඔහු වෙතට පැමුණුණේය. නුමුත් පේතෘස්: ස්වාමිනි, එසේ නොවේවා; මක්නිසාද අකැපවූ අපවිත්‍රවූ දෙයක් කිසි කලෙකත් නොකෑවෙමියි කීවේය. නැවත: දෙවියන්වහන්සේ පවිත්‍රකළ දේ අකැපයයි නුඹ නොකියන්නැයි දෙවෙනි වර හඬක් ඔහු වෙත පැමිණියේය. මෙය තුන්වරක් කරනලද්දේය. එකෙණෙහිම ඒ භාජනය අහසට ඔසවාගනු ලැබීය. තවද, තමා දුටු දර්ශනයේ අර්ථය කුමක් විය හැකිදැයි සිතා පේතෘස් වියවුල්ව සිටියදී, කොර්නේලියස් විසින් එවනලද මනුෂ්‍යයෝ සීමොන්ගේ ගෙදර කොහේදැයි විභාගකර, දොරටුව ඉදිරියෙහි සිට: පේතෘස් නම්ලත් සීමොන් මෙහි නවාතැන්ගෙන සිටීදැයි හඬගසා ඇසූහ. පේතෘස් වනාහි දර්ශනය ගැන කල්පනාකරමින් සිටියදී, ආත්මයාණන් වහන්සේ කථාකොට: බලව, මනුෂ්‍යයෝ තුන්දෙනෙක් නුඹ සොයති. එබැවින් නැගිට, බැස, කිසිසේත් සැක නොකොට, ඔවුන් සමඟ යන්න. මක්නිසාද මම ඔවුන් එවීමියි කීසේක. එවිට පේතෘස් ඒ මනුෂ්‍යයන් වෙතට බැස: නුඹලා සොයන තැනැත්තා මමය. නුඹලා ආ කාරණය කිමෙක්දැයි ඇසුවේය. ඔව්හු කථාකොට: ධර්මිෂ්ඨ මනුෂ්‍යයෙක්වූ, දෙවියන්වහන්සේ කෙරෙහි භය ඇත්තෙක්වූ, යුදෙව්වරුන්ගේ මුළු ජාතිය විසින් යහපතැයි ප්‍රකාශකරනලද්දාවූ, සියයකට මුලාදෑනියෙක්වූ කොර්නේලියස් තමාගේ ගෙදරට නුඹ කැඳවා, නුඹෙන් වචන අසන පිණිස දෙවියන්වහන්සේ විසින් ශුද්ධවූ දේවදූතයෙකු ලවා අණදෙනු ලැබුවේයයි කීවෝය. එකල ඔහු ඔවුන් ඇතුළට කැඳවා නවාතැන් දුන්නේය. පසුවදා ඔහු නැගිට ඔවුන් සමඟ පිටත්ව ගියේය, යොප්පාවේ සහෝදරයන්ගෙන් සමහරෙක්ද ඔහු කැටුව ගියෝය. ඊට පසුවදා ඔව්හු කායිසාරියට පැමිණියෝය. කොර්නේලියස් තමාගේ නෑයන්ද හිතේසි මිත්‍රයන්ද කැඳවාගන ඔවුන්ගේ ඊම බලා සිටියේය. තවද පේතෘස් ගෙට ඇතුල්වන කල, කොර්නේලියස් ඔහු ඉදිරියට ගොස්, ඔහුගේ පාමුල වැටී නමස්කාර කෙළේය. නුමුත් පේතෘස්: නැගිටින්න, මමත් මනුෂ්‍යයෙකැයි කියා ඔහු නැගිටෙව්වේය. පේතෘස් ඔහු සමඟ කථාකරමින්, ගේ ඇතුළට ගොස්, බොහෝ දෙනෙකු රැස්ව සිටිනු දැක, ඔවුන්ට කියනුනේය: යුදෙව් මනුෂ්‍යයෙකුට අන්‍යජාතී කෙනෙකු හා සමාගම්වීමවත් ඔහු ළඟට ඊමවත් අයුතු බව නුඹලාම දන්නහුය; නුමුත් කොයි මනුෂ්‍යයෙක්වත් අකැපය නොහොත් අපවිත්‍රයයි නොකියන්ට දෙවියන්වහන්සේ මට දැන්වූසේක. එබැවින් මා කැඳවා යැවූ කල මම අකැමැති නොවී ආවෙමි. මොන අදහසක් පිණිස නුඹලා මා කැඳෙවුවාද කියා අසමියි කීවේය. එවිට කොර්නේලියස් කියනුයේ, සතර දවසකට පළමුවෙන් මේ පැය දක්වා, නවවෙනි පැයේදී මාගේ ගෙදර යාච්ඤාකරමින් සිටියෙමි; එවිට දිලියෙන වස්ත්‍ර ඇන්දාවූ මනුෂ්‍යයෙක් මා ඉදිරියෙහි සිට: කොර්නේලියස්, නුඹේ යාච්ඤාව අසනලද්දේය, නුඹේ දානද දෙවියන්වහන්සේගේ ඇස් හමුවෙහි සිහිකරන ලද්දේය. එබැවින් යොප්පාවට මනුෂ්‍යයන් යවා, පේතෘස් නම්ලත් සීමොන් මෙතැනට කැඳවාගන්න; ඔහු මුහුද ළඟ සම්කරු සීමොන්ගේ ගෙයි නවාතැන්ගෙන සිටීයයි කීවේය. එහෙයින් එකෙණෙහිම නුඹට කියා යැවීමි; නුඹද ආ එක යහපත්ය. දැනුදු අපි සියල්ලෝ ස්වාමීන්වහන්සේ විසින් නුඹට අණකරනලද සියල්ල අසන පිණිස මෙහි දෙවියන්වහන්සේගේ ඇස් හමුවෙහි සිටිමුයයි කීවේය.