ක්‍රියා 10:1-16
ක්‍රියා 10:1-16 SROV
ඉතාලික කණ්ඩායමයයි කියන හේවා කණ්ඩායමේ සියයකට මුලාදෑනියෙක්වූ කොර්නේලියස් නම් එක්තරා මනුෂ්‍යයෙක් කායිසාරියෙහි සිටියේය. ඔහු භක්තිවන්තවූ, තමාගේ ගෙදර සියල්ලන් සමඟ දෙවියන්වහන්සේ කෙරෙහි භය ඇතුව සිටියාවූ, සෙනඟට බොහෝ දන් දුන්නාවූ, නිතරම දෙවියන්වහන්සේට යාච්ඤා කළාවූ කෙනෙක්ය. ඔහු දහවල් නවවෙනි පැය පමණේදී දෙවියන්වහන්සේගේ දූතයෙකු තමා ළඟට එනවා සහ: කොර්නේලියස්යයි තමාට කියනවාත් දර්ශනයකින් පැහැදිලිලෙස දැක, ඔහු දෙස ඇස් යොමා බලා, භයපත්ව: ස්වාමිනි, කිමෙක්දැයි ඇසීය. ඔහු කථාකොට: නුඹේ යාච්ඤාද දානද සිහිවීමක් කොට දෙවියන්වහන්සේ ඉදිරියට පැමුණුණේය. ඉදින් යොප්පාවට මනුෂ්‍යයන් යවා, පේතෘස් නම් සීමොන් කැඳවාගන්න. ඔහු මුහුද අද්දර සීමොන් නම් සම්කරුවෙකුගේ ගෙදර නවාතැන් ගෙන සිටීයයි කීවේය. ඔහු සමඟ කථාකළ දේවදූතයා ගිය කල, ඔහු තමාගේ ගෙදර වැඩකාරයන්ගෙන් දෙදෙනෙකුත් තමාට නිතර මෙහෙකළවුන්ගෙන් භක්තිවන්ත හේවායෙකුත් කැඳවා, ඔවුන්ට සියල්ල දන්වා, යොප්පාවට ඔවුන් යැවීය. පසුවදා ඔවුන් ගමන්කොට ඒ නුවරට ළංවනකල, පේතෘස් සවෙනි පැය පමණේදී යාච්ඤාකරන්ට ගේ උඩට ගියේය. ඔහු බඩගිනිව, කෑම කන්ට කැමති වූයේය. නුමුත් ඔවුන් එය පිළියෙළ කරද්දී ඔහු මූර්ඡාවිය. එවිට අහස විවරව, සතර කොනින් මහත් ඇතිරිල්ලක් වැනිවූ එක්තරා භාජනයක් පොළොවට බැස එනවා ඔහු දුටුවේය. පොළොවේ සියලු ආකාර සිවුපාවෝද බඩගාන ජාතීහුද ආකාශයේ පක්ෂීහුද එහි සිටියෝය. පේතෘස්, නැගිට, මරා කන්න යන හඬක් ඔහු වෙතට පැමුණුණේය. නුමුත් පේතෘස්: ස්වාමිනි, එසේ නොවේවා; මක්නිසාද අකැපවූ අපවිත්‍රවූ දෙයක් කිසි කලෙකත් නොකෑවෙමියි කීවේය. නැවත: දෙවියන්වහන්සේ පවිත්‍රකළ දේ අකැපයයි නුඹ නොකියන්නැයි දෙවෙනි වර හඬක් ඔහු වෙත පැමිණියේය. මෙය තුන්වරක් කරනලද්දේය. එකෙණෙහිම ඒ භාජනය අහසට ඔසවාගනු ලැබීය.

