2 සාමුවෙල් 9:3-11
2 සාමුවෙල් 9:3-11 SROV
රජද: සාවුල්ගේ වංශයේ කිසිවෙක් තව ඉතුරුව නැද්ද? ඉතුරුව ඇත්නම් මම ඔහුට දෙවියන්වහන්සේගේ කරුණාව පෙන්වන්නෙමියි කීවේය. ශීබාද: යොනාතාන්ගේ පුත්‍රයෙක් තවම සිටියි, ඔහු පාදකොරවූ කෙනෙක්යයි රජුට කීවේය. එවිට: ඔහු කොතැනදැයි රජ ඔහුගෙන් ඇසුවේය. ශීබාද: ඔහු ලෝ-දෙබාර්හි අම්මියෙල්ගේ පුත්‍රවූ මාකීර්ගේ ගෙදර සිටීයයි රජුට කීය. එවිට දාවිත් රජ පණිවිඩ යවා ලෝ-දෙබාර්හි අම්මියෙල්ගේ පුත්‍රවූ මාකීර්ගේ ගෙදරින් ඔහු ගෙන්වූයේය. සාවුල්ගේ පුත්‍රයා වන යොනාතාන්ගේ පුත්‍රවූ මෙපිබොෂෙත් දාවිත් වෙතට ඇවිත් මුහුණින් වැටී වැන්දේය. දාවිත්ද: මෙපිබොෂෙත්යයි කීය. ඔබගේ මෙහෙකරුවා මෙහියයි ඔහු උත්තරදුන්නේය. දාවිත් කථාකොට: භයනොවෙන්න. සැබෑවටම නුඹේ පියවූ යොනාතාන් නිසා මම නුඹට කරුණාව පෙන්වා නුඹේ පියවූ සාවුල්ගේ සියලු ගම්බිම් නුඹට නැවත දෙන්නෙමි; නුඹ වනාහි මාගේ මේසයේ නිතර කෑම කන්නෙහියයි ඔහුට කීය. ඔහු වැඳ කථාකොට: ඔබ විසින් මා වැනි මළ බල්ලෙකු සැලකීමට ඔබගේ මෙහෙකරුවා කවුදැයි කීවේය. එවිට රජ සාවුල්ගේ වැඩකාරයාවූ ශීබාට අඬගසා: සාවුල්ටත් ඔහුගේ මුළු වංශයටත් අයිතිව තිබුණ සියල්ල නුඹේ ස්වාමිහුගේ පුත්‍රයාට දුනිමි. එබැවින් නුඹේ ස්වාමිහුගේ පුත්‍රයාට ආහාර කන්නට ලැබෙන පිණිස නුඹ සහ නුඹේ පුත්‍රයෝද නුඹේ වැඩකාරයෝද ඔහු උදෙසා ඒ බිම් වගාකොට එහි අස්වැන්න ගෙනෙන්න. නුමුත් නුඹේ ස්වාමිහුගේ පුත්‍රවූ මෙපිබොෂෙත් මාගේ මේසයේ නිතරම කෑම කනවා ඇතැයි කීවේය. ශීබාට පුත්‍රයන් පසළොස්දෙනෙක් හා වැඩකාරයන් විසිදෙනෙක් සිටියෝය. එවිට ශීබා: මාගේ ස්වාමිවූ රජ්ජුරුවන් තමන්ගේ මෙහෙකරුවාට අණකරන සියල්ල ලෙස ඔබගේ මෙහෙකරුවා කරන්නේයයි රජුට කීවේය. මෙපිබොෂෙත් වනාහි රාජ පුත්‍රයන්ගෙන් එක්කෙනෙකු මෙන් රජුගේ මේසයේ කෑම කෑවේය.

