2 සාමුවෙල් 6:14-23

2 සාමුවෙල් 6:14-23 SROV

දාවිත් හණ ඒඵොද් සැට්ටයක් හැඳගන ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි මුළු ශක්තියෙන් නැටුවේය. මෙසේ දාවිත් හා මුළු ඉශ්‍රායෙල් වංශය ඔල්වරහඬත් හොරණෑ ශබ්දයත් ඇතුව ස්වාමීන්වහන්සේගේ ගිවිසුම් පෙට්ටිය ගෙනාවෝය. තවද ස්වාමීන්වහන්සේගේ ගිවිසුම් පෙට්ටිය දාවිත්ගේ නුවරට පැමිණෙන කල සාවුල්ගේ දූවූ මීඛල් කවුළුවෙන් බලා, ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි දාවිත් රජ උඩ පනිමින් නටනවා දැක, ඇගේ සිතින් ඔහු හෙළාදැක්කාය. තවද ඔව්හු ස්වාමීන්වහන්සේගේ පෙට්ටිය ඇතුළට ගෙනවුත් දාවිත් ඊට පිහිටුවා තිබුණ කූඩාරම මධ්‍යයෙහි ඊට නියම ස්ථානයෙහි එය තැබුවෝය. දාවිත් ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි දවන පූජා හා ශාන්ති පූජා ඔප්පුකෙළේය. දාවිත් දවන පූජාද ශාන්ති පූජාද ඔප්පුකර තීන්දුකළ පසු සේනාවල ස්වාමීන්වහන්සේගේ නාමයෙන් සෙනඟට ආශීර්වාදකෙළේය. තවද ඔහු මුළු සෙනඟට එනම් ඉශ්‍රායෙල් සමූහයාගෙන් එක එක පුරුෂයාටත් ස්ත්‍රීටත් රොටියකුත් මස් කැබෙල්ලකුත් වියළි මුද්‍රිකඵල කැටියකුත් දුන්නේය. එවිට මුළු සෙනඟ තම තමුන්ගේ ගෙවලට ගියෝය. දාවිත්ද තමාගේ ගෙයි වැසියන්ට ආශීර්වාද කරන පිණිස හැරීගියේය. සාවුල්ගේ දූවූ මීඛල් දාවිත්ගේ පෙරමගට අවුත් කථාකොට: කමකට නැති කෙනෙක් ලජ්ජා නැතිව තමාගේ ඇඳුම් ගළවා දමන්නාක් මෙන් අද තමාගේ මෙහෙකරුවන්ගේ දාසීන් ඉදිරියෙහි තමාගේ ඇඳුම් ගළවාදැමූ ඉශ්‍රායෙල් රජතුමා අද කොපමණ තේජවත් නොවීදැයි කීවාය. දාවිත් මීඛල්ට කථාකොට: ඒ සිද්ධවුණේ ස්වකීය සෙනඟ වන ඉශ්‍රායෙල්වරුන් කෙරෙහි අධිපතියා කොට පත්කරන පිණිස නුඹේ පියාත් ඔහුගේ මුළු වංශයත් පහකොට මා තෝරාගත් ස්වාමීන්වහන්සේ ඉදිරියෙහිය. ඒ නිසා මම ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි ක්‍රීඩාකරන්නෙමි, මම ඊටත් වඩා නීචව මාගේම ඇස් ඉදිරිපිට පහත්වන්නෙමි. නුමුත් නුඹ කී දාසීන්ගෙන් නම් ගෞරව ලබන්නෙමියි කීවේය. එබැවින් සාවුල්ගේ දුවවූ මීඛල්ට ඈ මැරෙන දවස දක්වා දරුවෙක් නොලැබුණේය.

මෙයට අදාළ වීඩියෝ

2 සාමුවෙල් 6:14-23 සම්බන්ධව නිදහස් කියවීමේ සැලසුම් සහ පූජනීයත්වය