2 සාමුවෙල් 4

4
ඊෂ්-බොෂෙත් මරා දැමීම
1අබ්නේර් හෙබ්‍රොන්හිදී මැරුණු බව සාවුල්ගේ පුත්‍රවූ ඊෂ්-බොෂෙත්ට සැලවූ විට ඔහුගේ අත් බෙලහීන විය, සියලු ඉශ්‍රායෙල්වරුද කැලඹුණෝය. 2සාවුල්ගේ පුත්‍රයාට ප්‍රහාරක යුද කණ්ඩායම් කෙරෙහි අධිපතියෝවූ මනුෂ්‍යයන් දෙදෙනෙක් සිටියෝය. එක්කෙනෙකුගේ නම බානාය, අනික් අයගේ නම රේඛාබ්ය. ඔව්හු බෙන්යමින් ගෝත්‍රයට අයිති බෙයේරොතිය රිම්මොන්ගේ පුත්‍රයෝය. (මක්නිසාද බෙයේරොත්ද බෙන්යමින් ගණනට ඇතුළත් කර තිබේ. 3බෙයේරොත්වරු ගිත්තායිම්ට පලාගොස් අද දක්වා එහි විදේශියෝව සිටිති.)
4සාවුල්ගේ පුත්‍රවූ යොනාතාන්ට පාද කොරවූ පුත්‍රයෙක් සිටියේය. යෙස්‍රෙයෙල්හි සිටි සාවුල් සහ යොනාතාන් ගැන ආරංචි ලැබුණු කල ඔහු පස් හැවිරිදි ළමයෙක් ව සිටියේය, ඔහුගේ කිරි මවු ඔහු වඩාගෙන පලාගියාය. ඈ ඉක්මන්කර පලා යන අතර ඔහු වැටී කොරවුණේය. ඔහුගේ නම මෙඵිබොෂෙත්ය.
5තවද බෙයේරොතිය රිම්මොන්ගේ පුත්‍රයෝවූ රේඛාබ්ද බානාද ගොස් දවල් ග්‍රීෂ්ම වේලාව පමණේදී ඊෂ්-බොෂෙත්ගේ ගෙට ඇතුල්වුණෝය, ඉරමුදුන් වේලාව නිසා ඔහු සැතපී උන්නේය. 6ඔව්හු තිරිඟු ගෙනයන්ට එන්නාක් මෙන් ගේ ඇතුළට පැමිණ ඔහුගේ බඩට ඇන්නෝය. රේඛාබ්ද ඔහුගේ සහෝදරවූ බානාද පැනලා ගියෝය. 7එසේ ඔහු තමාගේ සැතපෙන ගෙයි ඇඳේ නිදා ඉන්දදී ඔව්හු ගෙට ඇතුල්වී ඔහුට ඇන, ඔහු මරා, ඔහුගේ හිස කපාදමා, එය රැගෙන මුළු රාත්‍රියේ අරබා සමභූමියේ පාරෙන් ගියෝය. 8ඔව්හු හෙබ්‍රොන්හි සිට දාවිත් ළඟට ඊෂ්-බොෂෙත්ගේ හිස ගෙනැවිත් රජුට කථාකොට: ඔබ මරන්ට සෙවුවාවූ ඔබට සතුරුවූ සාවුල්ගේ පුත්‍රයා වන ඊෂ්-බොෂෙත්ගේ හිස මෙන්න; මෙසේ ස්වාමීන්වහන්සේ මාගේ ස්වාමිවූ රජ්ජුරුවන් උදෙසා අද දවසේ සාවුල්ගෙන්ද ඔහුගේ වංශයෙන්ද පළිගත්සේකැයි කීවෝය. 9දාවිත්ද බෙයේරොතිය රිම්මොන්ගේ පුත්‍රයන් වන රේඛාබ්ටත් ඔහුගේ සහෝදරවූ බානාටත් උත්තර දෙමින්: සියලු විපත්තිවලින් මාගේ ප්‍රාණය ගළවාගත් ස්වාමීන්වහන්සේ ජීවමාන බව සැබෑවාසේම, 10යහපත් ආරංචියක් ගෙනෙමියි සිතාගන එක් කෙනෙක් සාවුල් මැරුණේය කියා මට දැන්වූ විට මම ඔහු අල්වා ශික්ලග්හිදී මරාදැමුවෙමි, ඔහු ගෙනා ආරංචිය ගැන මා විසින් දුන් විපාකය ඒකය. 11තමාගේ ගෙයි තමාගේ යහනේ ඉන්දදී ධර්මිෂ්ඨ මනුෂ්‍යයෙකු මරාදැමූ දුෂ්ට මිනිසුන්ට ඊට කොපමණ වැඩියෙන් එසේ කරන්ට ඕනෑ නොවේද? එබැවින් මම ඔහුගේ ලේ නුඹලාගේ අතින් අයකර නුඹලා දැන් පොළොවෙන් පහනොකරන්නෙම්දැයි කීවේය. 12දාවිත් තමාගේ යෞවනයන්ට අණ දුන්නේය, ඔව්හු ඔවුන් මරා, ඔවුන්ගේ අත් පා කපාදමා, හෙබ්‍රොන්හි පොකුණ ළඟ එල්ලා තැබුවෝය. නුමුත් ඔව්හු ඊෂ්-බොෂෙත්ගේ හිස රැගෙන හෙබ්‍රොන්හි තිබුණු අබ්නේර්ගේ සොහොනේ තැන්පත් කළෝය.

දැනට තෝරාගෙන ඇත:

2 සාමුවෙල් 4: SROV

සළකුණු කරන්න

බෙදාගන්න

පිටපත් කරන්න

None

ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න