2 සාමුවෙල් 23:8-23
2 සාමුවෙල් 23:8-23 SROV
දාවිත්ට සිටි බලවන්තයන්ගේ නාම මේවාය: අධිපතීන්ට ප්‍රධානවූ තාකෙමොනිය යොෂෙබ්-බෂ්ෂෙබෙත්ය; ඔහු එක් වතාවකදී අටසිය දෙනෙකුට විරුද්ධව තමාගේ හෙල්ලය ඔසවා ඔවුන් මැරුවේය. ඊළඟට අහෝහිය දෝදෝගේ පුත්‍රවූ එලෙයාසර්ය; ඔහු පිලිස්තිවරුන් යුද්ධයට රැස්ව සිටිද්දී ඒ ස්ථානයෙහි දාවිත් සමඟ සිට ඔවුන්ට මිග කී බලවන්තයන් තුන්දෙනාගෙන් එක්කෙනෙක්ය, ඉශ්රායෙල් මනුෂ්‍යයෝද ගොස් සිටියෝය. ඔහු නැගිට තමාගේ අතට වෙහෙසවී තමාගේ අත කඩුවට ඇලෙන තුරු පිලිස්තිවරුන්ට පහර දුන්නේය. ස්වාමීන්වහන්සේ එදා මහත් ජයක් සාදා දුන් සේක; සෙනඟද කොල්ලය ගන්ට පමණක් ඔහු පස්සේ ගියෝය. ඊළඟට හාරාරිය අගීගේ පුත්‍රවූ ෂම්මාය. පිලිස්තිවරු හමුදාවක්ව කොල්ලු පුරාම තිබුණු බිම් කොටසක රැස්ව සිටියෝය; සෙනඟද පිලිස්තිවරුන් ඉදිරියෙන් පලාගියෝය. නුමුත් ඔහු බිම් කොටස මැද සිට ඒක බේරාගන පිලිස්තිවරුන් මැරුවේය. ස්වාමීන්වහන්සේ මහත් ජයක් සාදාදුන්සේක. ප්‍රධාන තිස්දෙනාගෙන් තුන්දෙනෙක් ගොයම් කපන කාලයේදී ගොස් දාවිත් සිටි අදුල්ලම් ගුහාවට බැස ගියෝය; පිලිස්තිවරුන්ගේ හමුදාව රෙපායිම් මිටියාවතෙහි කඳවුරු බැඳගෙන උන්නාහ. දාවිත් එවකට බලකොටුවෙහි සිටියේය. පිලිස්තිවරුන්ගේ හමුදාව එවකට බෙත්-ලෙහෙම්හි සිටියාහ. දාවිත් තද ආශාවක් ඇත්තේ: අනේ බෙත්-ලෙහෙම් දොරටුව ළඟ තිබෙන ළිඳේ වතුර කවුරුවත් මට බොන්ට ගෙනත් දෙනවා නම් හොඳයයි කීවේය. එවිට ඒ බලවන්තයන් තුන්දෙනා පිලිස්තිවරුන්ගේ සේනාව මැදින් බිඳගන ගොස් බෙත්-ලෙහෙම් දොරටුව ළඟ තිබෙන ළිඳෙන් වතුර ඇද දාවිත් වෙතට ගෙනාවෝය. නුමුත් ඔහු ඒවා බොන්ට අකැමැතිව ඒවා ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි වත්කොට: ස්වාමීන්වහන්ස, මෙසේ කිරීම මාගෙන් දුරුවේවා. තමුන්ගේ ප්‍රාණය නොසලකා ගිය මේ මනුෂ්‍යයන්ගේ රුධිරය බොන්ට යුතුදැයි කියා ඒවා බොන්ට අකැමැතිවුණේය. ඒ බලවන්තයෝ තුන්දෙනා මේ දේවල් කළෝය. ශෙරුයාගේ පුත්‍රවූ යෝවාබ්ගේ සහෝදරවූ අබිෂයි තුන්දෙනාගේ ප්‍රධානියාව සිටියේය. ඔහු තමාගේ හෙල්ලය තුන්සිය දෙනෙකුට විරුද්ධව ඔසවා ඔවුන් මරා තුන්දෙනා අතරේ නාමයක් ලැබීය. තුන්දෙනා අතරෙන් ඔහු ඉතා ගරුතර තැනැත්තා නොවේද? එබැවින් ඔහු ඔවුන්ගේ අධිපතියා කරනලද්දේය. එසේ වුවත් ඔහු පළමුවෙනි තුන්දෙනාගේ ප්‍රමාණයට නොපැමිණියේය. මහත් ක්‍රියාවල් කළාවූ, කබ්ශෙයෙල්හි වික්‍රමාන්විත මනුෂ්‍යයෙකුගේ පුත්‍රවූ යෙහෝයාදාගේ පුත්‍රයා වන බෙනායා මෝවබ්හි අරියෙල්ගේ පුත්‍රයන් දෙන්නා මැරුවේය. හිම වැටෙන දවසකදී ඔහු බැස ගොස් වළක් ඇතුළෙහිදී සිංහයෙකු මැරුවේය. ඔහු එඩිතර පෙනීමක් ඇති මිසර මනුෂ්‍යයෙකුත් මැරුවේය. මිසරයාගේ අතේ හෙල්ලයක් තිබුණේය; එහෙත් ඔහු පොල්ලක් ඇතුව මිසරයා ළඟට ගොස් ඔහුගේ අතින් හෙල්ලය උදුරාගෙන ඔහුගේම හෙල්ලයෙන් ඔහු මැරුවේය. යෙහෝයාදාගේ පුත්‍රවූ බෙනායා මේ දේවල් කොට බලවන්තයන් තුන්දෙනා අතරේ නාමයක් ලැබුවේය. ඔහු තිස්දෙනාට වඩා ගරුතර කෙනෙක්ය, එහෙත් පළමුවෙනි තුන්දෙනාගේ ප්‍රමාණයට නොපැමිණියේය. දාවිත් තමාගේ මුරකාරයන් කෙරෙහි ඔහු අධිපතියා කෙළේය.

