2 සාමුවෙල් 15:1-17

2 සාමුවෙල් 15:1-17 SROV

ඉන්පසු අබ්සලොම් රථයක්ද අශ්වයන්ද තමාට පෙරටුවෙන් දුවන්ට මනුෂ්‍යයන් පනස් දෙනෙක්ද පිළියෙළ කරගත්තේය. තවද අබ්සලොම් අලුයම නැගිට දොරටුවට යන මාර්ගයේ අයිනේ සිට, විනිශ්චය පිණිස රජු වෙතට පැමිණීමට නඩුවක් ඇති එකිනෙකාට අඬගසා: නුඹ මොන නුවරට අයිතිදැයි ඇසීය. ඔහුද: ඔබගේ මෙහෙකරුවා ඉශ්‍රායෙල් ගෝත්‍රයකට අයිතියයි කීවේය. අබ්සලොම්: ඔන්න නුඹේ කාරණා හොඳය, හරිය; නුමුත් නුඹේ කාරණා අසන පිණිස රජු විසින් පත්කරනලද කෙනෙක් නැතැයි ඔහුට කීවේය. ඇරත් අබ්සලොම් කථාකොට: දේශයේ විනිශ්චයකාරයා කොට මා පත්කළොත් යහපත! එවිට නඩුවක් හෝ පැමිණිල්ලක් ඇති කවුරු නුමුත් මා වෙතට ආ කල්හි මම ඔහුට යුක්තිය කරන්නෙමියි කීවේය. යමෙක් ඔහුට වඳින්ට ළංවූ කල ඔහු තමාගේ අත දිගුකොට ඔහු අල්වා සිඹගත්තේය. විනිශ්චය පිණිස රජු ළඟට ආ සියලු ඉශ්‍රායෙල්වරුන්ට අබ්සලොම් මෙයාකාර කොට, හොරෙන් ඉශ්‍රායෙල් මනුෂ්‍යයන්ගේ සිත් දිනා ගත්තේය. තවද සතර අවුරුද්දකට පසු අබ්සලොම් රජුට කථාකොට: ස්වාමීන්වහන්සේට වුණාවූ මාගේ බාරය හෙබ්‍රොන්හිදී ඉෂ්ටකරන පිණිස යන්ට මට අවසර ලැබේවා. මක්නිසාද ඔබගේ මෙහෙකරුවා සිරියේ ගෙෂූර්හි සිටියදී: ස්වාමීන්වහන්සේ සැබවින් මා නැවත යෙරුසලමට පමුණුවන්ට යෙදුණොත් මම ස්වාමීන්වහන්සේට සේවයකරන්නෙමියි කියා බාරයක් වුණේයයි කීවේය. සමාදානයෙන් යන්නැයි රජ ඔහුට කීවේය. ඔහු නැගිට හෙබ්‍රොන්ට ගියේය. නුමුත් අබ්සලොම් ඉශ්‍රායෙල් ගෝත්‍ර සියල්ල අතරෙහි ඔත්තුකාරයන් යවා: නුඹලාට හොරණෑ ශබ්දය ඇසුණු කෙණෙහිම–අබ්සලොම් හෙබ්‍රොන්හි රජවී සිටීයයි කියන්නැයි කියන්ට කීවේය. තවද කැඳවනලද මනුෂ්‍යයන් දෙසියයක් අබ්සලොම් සමඟ යෙරුසලමෙන් ගියෝය; ඔව්හු කිසිවක් නොදැන තමුන්ගේ අවංකකමින් ගියෝය. අබ්සලොම් පූජා ඔප්පුකරන අතර දාවිත්ගේ මන්ත්‍රියෙක්වූ ගීලොනිය අහිතොපෙල් ඔහුගේ නුවරවූ ගීලොයෙන් ගෙන්වාගත්තේය. මෙසේ කුමන්ත්‍රණය බලවත් වී සෙනඟ වඩ වඩා අබ්සලොම්ට එකතුවුණෝය. පණිවිඩකාරයෙක් දාවිත් කරා ඇවිත්: ඉශ්‍රායෙල් මනුෂ්‍යයන්ගේ සිත් අබ්සලොම් දෙසට හැරීගියේයයි කීවේය. එවිට දාවිත් යෙරුසලමේ තමා සමඟ සිටි තමාගේ සියලු සේවකයන්ට කථාකොට: අපි පිටත්ව පලායමු; නැතහොත් අපෙන් කිසිවෙක් අබ්සලොම්ගෙන් ගැළවෙන්නේ නැත. ඔහු වහාම අප කරා පැමිණ අප පිටට අනතුරු පමුණුවා, කඩුමුවහතින් නුවරට පහරනොදෙන පිණිස, යන්ට ඉක්මන්කරන්නැයි කීවේය. රජුගේ සේවකයෝ රජුට කථාකොට: අපගේ ස්වාමිවූ රජ්ජුරුවන් නියමකරන කොයි දෙයක් නුමුත් කරන්ට ඔබගේ සේවකයෝ සෑදී සිටිතියි කීවෝය. එවිට රජුද ඔහු අනුව ඔහුගේ ගෙයි වැසි සියල්ලෝද පිටත්ව ගියෝය. උප භාර්යාවන්වූ ස්ත්‍රීන් දසදෙනෙක් රජ තෙමේ ගෙදර බලාගැනීමට නවත්වා ගියේය. මෙසේ රජද ඔහු අනුව සියලු සෙනඟද පිටත්ව ගොස් බෙත්-මෙර්හාක්හි නැවතුණෝය.