2 සාමුවෙල් 11:6-16

2 සාමුවෙල් 11:6-16 SROV

එවිට දාවිත්: හිත්තීය උරියා මා වෙතට එවන්නැයි යෝවාබ්ට කියා යැවීය. යෝවාබ් දාවිත් ළඟට උරියා හැරියේය. උරියා ඔහු ළඟට ආ කල දාවිත් යෝවාබ්ගේද සෙනඟගේද සැපසනීපත් යුද්ධය කෙරීගනයන හැටිත් ඔහුගෙන් විචාළේය. පසුව දාවිත්: නුඹ ගෙදර ගොස් නුඹේ පාද සෝදාගන්නැයි උරියාට කීවේය. උරියා රජ ගෙදරින් පිටතට ගියේය, රජුගෙන් ආහාර කොටසක් ඔහු පස්සෙන් හරින ලද්දේය. එහෙත් උරියා තමාගේ ගෙදරට නොගොස් තමාගේ ස්වාමිහුගේ සියලු මෙහෙකරුවන් සමඟ රජ ගෙයි දොරකඩ නිදාගත්තේය. උරියා තමාගේ ගෙදරට නොගියේයයි දාවිත්ට දැන්වූකල දාවිත් උරියාට කථාකොට: නුඹ ගමනක් ගොස් ආවා නොවේද? නුඹ ගෙදර නොගියේ මක්නිසාදැයි ඇසුවේය. උරියා දාවිත්ට කථාකොට: ගිවිසුම් පෙට්ටියද ඉශ්‍රායෙල්වරුද යූදාවරුද පැල්වල සිටිති; මාගේ ස්වාමිවූ යෝවාබ්ද මාගේ ස්වාමිහුගේ සේවකයෝද එලිමහනේ කඳවුරු බැඳගෙන සිටිති; එසේ නම් මම කන්ටත් බොන්ටත් මාගේ භාර්යාව සමඟ සයනයකරන්ටත් මාගේ ගෙදරට යම්ද? ඔබ ජීවත්වන බවද ඔබගේ ආත්මය ජීවත්වන බවද සැබෑවාසේම මම එසේ නොකරමියි කීය. දාවිත්ද: අදත් මෙහි සිටින්න, හෙට නුඹ යන්ට හරින්නෙමියි උරියාට කීවේය. එසේ උරියා එදාත් පසුවදාත් යෙරුසලමෙහි සිටියේය. පසුව දාවිත් ඔහු කැඳවූ කල්හි ඔහු ඇවිත් රජ ඉදිරියෙහි කෑවේය, බීවේය; රජතෙමේ ඔහු වෙරිකෙළේය. ඔහු සවස තමාගේ ස්වාමිහුගේ මෙහෙකරුවන් සමඟ තමාගේ ඇඳේ නිදාගන්ට පිටතට ගියේය. එහෙත් තමාගේම ගෙදරට ගියේ නැත. පසුවදා දාවිත් යෝවාබ්ට ලියුමක් ලියා ඒක උරියා අත ඇරියේය. ඒ ලියුමේ ලිව්වේ: සටන ඉතා බලවත්ව තිබෙන තැන පෙරමුණේම උරියා සිටුවා, පහර ලැබ නසින පිණිස ඔහු අත්හැර අහක් වෙන්නය කියාය. යෝවාබ් නුවර රැක සිටියදී, වික්‍රමාන්විත මනුෂ්‍යයන් සිටින බව ඔහු දන්න ස්ථානයෙහි උරියා සිටෙව්වේය.

මෙයට අදාළ වීඩියෝ