2 රාජාවලිය 21:3-9

2 රාජාවලිය 21:3-9 SROV

තමාගේ පියවූ හෙසකියා නැතිකළ උස් තැන් ඔහු නැවත ගොඩනගා, බාල්ට පූජාසන තනා, ඉශ්‍රායෙල්හි රජවූ ආහබ් සෑදුවාක් මෙන් අෂේරා කණුවක්ද සෑදුවේය, ඔහු මුළු අහස් සේනාවට නමස්කාරකරමින් ඒවාට සේවයකෙළේය. තවද: මාගේ නාමය යෙරුසලමෙහි තබන්නෙමියි ස්වාමීන්වහන්සේ යම් ගෘහයක් ගැන කීසේක්ද ඒ ගෘහයෙහි ඔහු පූජාසන ගොඩනැගුවේය. ස්වාමීන්වහන්සේගේ ගෘහයේ මිදුල් දෙකෙහි මුළු අහස් සේනාවටත් පූජාසන ගොඩනැගුවේය. ඔහු තමාගේ පුත්‍රයා ගිනි මැදින් යවා පූජාකෙළේය, මායම්ද ශාස්ත්‍ර බැලීම්ද භාවිතාකරමින් ආත්ම බන්ධනකාරයන්ද අනවිනකාරයන්ද පත්කෙළේය. ඔහු ස්වාමීන්වහන්සේ කෝපකරවන හැටියට උන්වහන්සේගේ ඇස් හමුවෙහි නපුරුවූ බොහෝ දේ කෙළේය. තමා සෑදූ අෂේරා රූපයද ඔහු ස්වාමීන්වහන්සේගේ ගෘහයෙහි තැබීය. ඒ ගෘහය ගැන ස්වාමීන්වහන්සේ දාවිත්ටත් ඔහුගේ පුත්‍රවූ සාලමොන්ටත් කථාකොට: මේ ගෘහයෙහිද මා විසින් සියලු ඉශ්‍රායෙල් ගෝත්‍රවලින් තෝරාගත් යෙරුසලමේද මාගේ නාමය සදාකාලේටම තබන්නෙමි. මා විසින් ඉශ්‍රායෙල්වරුන්ට අණකළ සියල්ල ප්‍රකාරයටද මාගේ මෙහෙකරුවූ මෝසෙස් ඔවුන්ට අණකළ මුළු ව්‍යවස්ථාවේ ප්‍රකාරයටද කරන්ට ඔවුන් බලාගත්තොත් ඔවුන්ගේ පියවරුන්ට මා විසින් දුන් දේශයෙන් ඔවුන්ගේ පාද තවත් මුළාව යන්ට නොසලස්වන්නෙමියි කීසේක. එහෙත් ඔව්හු ඇහුම්කන් නුදුන්නෝය. ස්වාමීන්වහන්සේ ඉශ්‍රායෙල් පුත්‍රයන් ඉදිරියෙන් විනාශකළාවූ ජාතීන්ට වඩා නපුරුකම්කරන ලෙස මනස්සේ ඔවුන් මුළාකෙළේය.