2 කොරින්ති 9

9
සම්මාදම් එකතුකිරීමට තවත් අවවාද හා ධෛර්ය වචන
1ශුද්ධවන්තයන්ට උපස්ථානකිරීම ගැන මා විසින් නුඹලාට ලිවීම ඕනෑ නැත. 2මක්නිසාද නුඹලාගේ මනාපකම දනිමි, අකාය ගිය අවුරුද්දේ පටන්ම සූදානම්ව සිටියායයි මකිදෝනිවරුන්ට නුඹලා ගැන පාරට්ටුකරමි; නුඹලාගේ ජ්වලිතකමින් ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් පොලඹවනු ලැබුවෝය. 3එසේවී නුමුත් මේ ගැන නුඹලා උදෙසා අපේ පාරට්ටුව හිස් නොවන පිණිසද මා කී හැටියට නුඹලා සූදානම්ව සිටින පිණිසද සහෝදරයන් එවීමි. 4නැත්නම් යම් විධියකින් මකිදෝනිවරු මා සමඟ එන්ට යෙදී නුඹලා සූදානම් නැති බව දුටුවොත්, නුඹලා කොහොම නුමුත් අපි නම් මේ විශ්වාසය නිසා ලජ්ජාවට පැමිණෙන්නෙමුව. 5එබැවින් කලින් පොරොන්දු වුණාවූ නුඹලාගේ දීමනාව බලාත්කාරයෙන් ගැනීමක් මෙන් නොව ත්‍යාගවත් දීමනාවක්ව තිබෙන පිණිස කලින් නුඹලා වෙතට ඇවිත් එය පිළියෙළ කරන ලෙස ඒ සහෝදරයන්ගෙන් ඉල්ලන්ට යුතුයයි සිතුවෙමි.
6නුමුත් මේක කියමි: මසුරුලෙස වපුරන්නා මසුරුලෙස කපාගන්නේය; නොමසුරුව වපුරන්නා නොමසුරුව කපාගන්නේය. 7කනගාටුවෙන්වත් ඕනෑම නිසාවත් නොව එක් එක්කෙනා තම තමාගේ සිතින් නියමකරගත් ලෙස දේවා. මක්නිසාද සතුටු සිතින් දෙන්නාට දෙවියන්වහන්සේ ප්‍රේමකරනසේක. 8තවද නුඹලා සියලු දේවලදී නිතරම පූර්ණකම ලැබ සියලු යහපත් ක්‍රියා සඳහා පූර්ණව සිටින පිණිස නුඹලාට සියලු අනුග්‍රහය වැඩිකරදෙන්ට දෙවියන්වහන්සේට පුළුවන. 9ඒ හැටියට–
ඔහු විසිරෙවුවේය, දිළිඳුන්ට දුන්නේය;
ඔහුගේ ධර්මිෂ්ඨකම සදාකල් පවතින්නේයයි
ලියා තිබේ. 10ඉතින් වපුරන්නාට බීජද කෑමට රොටිද සපයාදෙන්නාවූ තැනන්වහන්සේ නුඹලාට වැපිරීම පිණිස බීජ සපයාදී, වැඩිකොට, නුඹලාගේ ධර්මිෂ්ඨකමේ ඵල වර්ධනයකරනසේක. 11මෙසේ නුඹලා සියලු ත්‍යාගවන්තකමට සියලු ආකාරයෙන් පොහොසත් වන්නහුය, එය අප කරණකොටගෙන දෙවියන්වහන්සේට ස්තුති උපදවන්නේය. 12මක්නිසාද මේ උපස්ථානකිරීමේ සේවයෙන් ශුද්ධවන්තයන්ගේ හිඟකම පිරිමැසෙනවා පමණක් නොව දෙවියන්වහන්සේට බොහෝ ස්තුතිදීම්ද උපදින්නේය. 13මේ උපස්ථානයෙන් නුඹලා සෝදිසිකිරීම කරණකොටගෙන ඔව්හු ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචිය නුඹලා විසින් පිළිගැනීමේ කීකරුකමද, ඔවුන් සහ සියල්ලන් කෙරෙහි නුඹලාගේ සම්මාදමේ ත්‍යාගවන්තකමද නිසා දෙවියන්වහන්සේට ප්‍රශංසාකරනවාත් හැර, 14නුඹලා උදෙසා කන්නලව්කරමින්, නුඹලා කෙරෙහි ඇත්තාවූ දෙවියන්වහන්සේගේ ඉතා මහත් අනුග්‍රහය නිසා තුමූම නුඹලා කෙරෙහි ඉතා ඇලුම්වෙති. 15දෙවියන්වහන්සේගේ කියා නිමකළ නොහැකි දීමනාව ගැන උන්වහන්සේට ස්තුතිවේවා.

දැනට තෝරාගෙන ඇත:

2 කොරින්ති 9: SROV

සළකුණු කරන්න

බෙදාගන්න

පිටපත් කරන්න

None

ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න