2 1 වංශාවලිය 33:9-25
2 1 වංශාවලිය 33:9-25 SROV
නුමුත් ස්වාමීන්වහන්සේ ඉශ්රායෙල් පුත්‍රයන් ඉදිරියෙන් විනාශකරදැමූ ජාතීන්ට වඩා නපුරුකම් කරන හැටියට මනස්සේ යූදාවරුන්ද යෙරුසලමේ වැසියන්ද මුළාකෙළේය. ස්වාමීන්වහන්සේ මනස්සේටත් ඔහුගේ සෙනඟටත් කථාකළ නුමුත් ඔව්හු ඇහුම්කන් නුදුන්නෝය. ඒ නිසා ස්වාමීන්වහන්සේ අෂූර්හි රජුගේ සේනාපතීන් ඔවුන්ට විරුද්ධව පැමිණෙවුසේක. ඔව්හු මනස්සේ අල්වා විලංගුවලින්ද දම්වැල්වලින්ද බැඳ බබිලෝනියට ගෙන ගියෝය. ඔහු තමාගේ විපතේදී තමාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට කන්නලව්කොට, තමාගේ පියවරුන්ගේ දෙවියන්වහන්සේ ඉදිරියෙහි ඉතා යටහත්වී, උන්වහන්සේට යාච්ඤාකෙළේය; උන්වහන්සේ ඔහුට ඇහුම්කන්දී ඔහුගේ කන්නලව්ව අසා යෙරුසලමටත් ඔහුගේ රාජ්‍යයටත් නැවත ඔහු පැමිණෙවුසේක. එවිට ස්වාමීන්වහන්සේ දෙවියන්වහන්සේ බව මනස්සේ දැනගත්තේය. මින්පසු ඔහු දාවිත්ගේ නුවරින් පිට ගීහොන්ට බස්නාහිරෙන් මිටියාවතෙහි මත්ස්‍ය–දොරටුවෙන් ඇතුල්වන තැන දක්වා ඕපෙල් වටේට ඉතා උසට පවුරක් ගොඩනගා, යූදාහි පවුරු ඇති සියලු නුවරවල සේනාපතීන් සිටෙවුවේය. ඔහු ස්වාමීන්වහන්සේගේ ගෘහයෙන් අන් දෙවිවරුන්ද පිළිමයද ස්වාමීන්වහන්සේගේ ගෘහයේ කන්දෙහිත් යෙරුසලමෙහිත් ඔහු ගොඩනගා තිබුණ සියලු පූජාසනද පහකොට නුවරින් පිටත දැමුවේය. තවද ඔහු ස්වාමීන්වහන්සේගේ පූජාසනය පිහිටුවා, ඒ පිට ශාන්ති පූජාද ස්තුති පූජාද ඔප්පුකොට, ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට සේවයකරන්ට යූදාවරුන්ට අණකෙළේය. එහෙත් සෙනඟ ඊට පසුත් උස්තැන්වල පූජාකළෝය, නුමුත් එසේ කෙළේ තමුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට පමණක්ය. මනස්සේගේ අනික් ක්‍රියාද ඔහු තමාගේ දෙවියන්වහන්සේට ඔප්පුකළ යාච්ඤාවද ඉශ්රායෙල්වරුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ නාමයෙන් ඔහුට කථාකළ දිවස් ඇත්තන්ගේ වචනද ඉශ්රායෙල් රජවරුන්ගේ කථාන්තරයෙහි ලියා තිබේ. ඔහුගේ යාච්ඤාවද දෙවියන් වහන්සේ ඔහුට ඇහුම්කන්දුන් හැටිද ඔහුගේ සියලු පාපයන්ද ඔහුගේ ද්‍රෝහිකමද ඔහු යටහත්වෙන්ට පළමුවෙන් උස්තැන් ගොඩනැගුවාවූ, අෂේරා කණු සහ කැපූ රූප සිටෙවුවාවූ ස්ථානද හෝසයිගේ කථාන්තර පොතෙහි ලියා තිබේ. මෙසේ මනස්සේ තමාගේ පියවරුන් සමඟ සැතපී තමාගේ ගෙයි තැන්පත් කරනු ලැබුවේය. ඔහුගේ පුත්‍රවූ ආමොන් ඔහු වෙනුවට රජවිය. ආමොන් විසිදෑවුරුදු වයසේදී රජවී දෑවුරුද්දක් යෙරුසලමෙහි රජකම්කෙළේය. ඔහු තමාගේ පියවූ මනස්සේ කළාක් මෙන් ස්වාමීන්වහන්සේගේ ඇස් හමුවෙහි නපුරුව තිබුණු දේ කරමින්, තමාගේ පියවූ මනස්සේ සෑදූ සියලු රූපවලට පූජාකොට සේවයකෙළේය. ඔහුගේ පියවූ මනස්සේ යටහත් වුණාක්මෙන් ඔහු ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි යටහත් නොවීය; මක්නිසාද මෙම ආමොන් වඩ වඩා අපරාධකෙළේය. ඔහුගේ සේවකයෝ ඔහුට විරුද්ධව කුමන්ත්‍රණයකොට ඔහුගේම ගෙයිදී ඔහු මැරුවෝය. නුමුත් දේශයේ සෙනඟ ආමොන් රජුට විරුද්ධව මන්ත්‍රණයකළ සියල්ලන් මරා ඔහුගේ පුත්‍රවූ යොෂියා ඔහු වෙනුවට රජකමට පත්කළෝය.

