2 1 වංශාවලිය 20:1-19

2 1 වංශාවලිය 20:1-19 SROV

මින්පසු මෝවබ් පුත්‍රයෝද අම්මොන් පුත්‍රයෝද ඔවුන් සමඟ අම්මොනිවරුන්ගෙන් සමහරෙක්ද යෙහෝෂාපාට්ට විරුද්ධව යුද්ධයට ආවෝය. එවිට සමහරෙක් ඇවිත් යෙහෝෂාපාට්ට කථාකොට: මුහුද එගොඩින් සිරියේ සිට මහත් සමූහයක් ඔබට විරුද්ධව එන්නාහ; ඔව්හු හශශොන්-තාමාර්හි (ඒන්-ගෙදිය කියන්නෙත් ඊටමයි) සිටිතියි කියා දැන්නුවෝය. එවිට යෙහෝෂාපාට් භයවී, ස්වාමීන්වහන්සේ සොයන්ට සිත යොමුකර, යූදා මුළුල්ලෙහි උපවාසයක් ප්‍රකාශකෙළේය. ස්වාමීන්වහන්සේගෙන් පිහිට ඉල්ලන පිණිස යූදාවරු රැස්වූවෝය. යූදාහි සියලු නුවරවලින් ඔව්හු ස්වාමීන්වහන්සේ සොයන්ට ආවෝය. එවිට යෙහෝෂාපාට් ස්වාමීන්වහන්සේගේ ගෘහයෙහි අලුත් මළුව ඉදිරිපිට යූදා සහ යෙරුසලමේ සිට රැස්වූ සභාව මැද සිට කියනුයේ: අපේ පියවරුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්ස, ඔබ ස්වර්ගයෙහි දෙවියන්වහන්සේ නොවනසේක්ද? ජාතීන්ගේ සියලු රාජ්‍යවල් කෙරෙහි ආණ්ඩුකරන්නෙත් ඔබ නොවේද? ඔබගේ අතේ බලය හා පරාක්‍රමය තිබේ, ඔබට විරුද්ධව සිටින්ට පුළුවන් කෙනෙකුත් නැත. අපේ දෙවියන්වහන්ස, ඔබගේ සෙනඟවූ ඉශ්‍රායෙල් ඉදිරිපිටින් ඔබම මේ දේශයේ වැසියන් පන්නාදමා, ඔබගේ මිත්‍රවූ ආබ්‍රහම්ගේ වංශයට ඒක සදාකාලයටම නුදුන්සේක්ද? ඔව්හු මෙහි වාසයකොට, ඔබගේ නාමයට මෙහි ශුද්ධස්ථානයක් ගොඩනගා කථාකොට– අප පිටට යම් විපත්තියක් එනම් කඩුව හෝ දඬුවමක් හෝ වසංගතයක් හෝ සාගතයක් හෝ පැමුණුණොත්, ඔබගේ නාමය මේ ගෘහයෙහි තබා තිබෙන නිසා, අපි මේ ගෘහය හා ඔබ ඉදිරියෙහි සිට අපේ දුකේදී ඔබට යාච්ඤාකරන්නෙමුව, එවිට ඔබ ශ්‍රවණය කොට ගළවනසේකැයි කීවෝය. බැලුවමැනව, ඉශ්‍රායෙල් මිසරයෙන් ආකල අම්මොන් සහ මෝවබ් පුත්‍රයන්ද සෙයිර් කඳුකරයේ වැසියන්ද අතරට පැමිණෙන්ට ඔබ ඔවුන්ට ඉඩ නුදුන් බැවින්, ඔව්හු ඔවුන් විනාශනොකර, ඔවුන් වෙතින් අහක්ව ගියෝය. එහෙත් ඔබ අපට හිමිකරදුන් ඔබගේ උරුමයෙන් අප පන්නාදමන්ට ඊමෙන් ඔවුන් අපට ප්‍රතිඵල දෙන හැටි බැලුවමැනව. අපේ දෙවියන්වහන්ස, ඔබ ඔවුන් විනිශ්චය නොකරනසේක්ද? මක්නිසාද අපට විරුද්ධව එන මේ මහත් සමූහයා ඉදිරියෙහි සිටින්ට අපට ශක්තිය නැත; අපි මක්කරමුද කියාත් නොදනිමුව. නුමුත් අපේ ඇස් ඔබ දෙසම යොමුකර තිබේයයි කීවේය. මුළු යූදා තමුන්ගේ අතදරුවන්ද භාර්යාවන්ද දරුවන්ද සමඟ ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි සිටියෝය. එවිට ස්වාමීන්වහන්සේගේ ආත්මය සභාව මැද සිටි ආසාප්ගේ පුත්‍රයන්ගෙන් එක්කෙනෙක්වූ ලෙවීය මත්තනියාගේ පුත්‍රවූ යෙයියෙල්ගේ පුත්‍රයා වන බෙනායාගේ පුත්‍රවූ සෙකරියාගේ පුත්‍රයා වන යහසීයෙල් කෙරෙහි පහළ වූයේය. ඔහු කථාකොට: සියලු යූදාවරුනි, යෙරුසලමේ වැසියෙනි, යෙහෝෂාපාට් රජ්ජුරුවෙනි, ඇහුම්කන්දෙන්න. ස්වාමීන්වහන්සේ නුඹලාට මෙසේ කියනසේක–මේ මහත් සමූහයා නිසා භයනොවෙන්න, නොකැලඹෙන්න; මක්නිසාද මේ යුද්ධය නුඹලාගේ නොව දෙවියන්වහන්සේගේය. හෙට ඔවුන්ට විරුද්ධව යන්න. බලව, ඔව්හු ශීශ් නම් නැගුමෙන් නැගී එති; යෙරුයෙල් කාන්තාරයට ඉස්සරහපිට මිටියාවතේ කෙළවරදී ඔව්හු නුඹලාට සම්බවන්නෝය. යූදාවරුනි, යෙරුසලමේ වැසියෙනි, මේ යුද්ධයේදී නුඹලා සටන්කරන්ට ඕනෑ නැත. සැරසී නිශ්චලව සිට ස්වාමීන්වහන්සේ නුඹලාට දෙන ගැළවීම බලාසිටින්න. ස්වාමීන්වහන්සේ නුඹලා සමඟ සිටින නිසා භයනොවී, නොකැලඹී, හෙට ඔවුන් වෙතට පිටත්ව යන්නය කියා වදාරනසේකැයි කීවේය. එවිට යෙහෝෂාපාට් මුහුණින් බිමට නැමුණේය. සියලු යූදාවරුද යෙරුසලමේ වැසියෝද ස්වාමීන්වහන්සේට නමස්කාරකරමින් ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි වැඳවැටුණෝය. කොහාතිවරුන්ගේ පුත්‍රයෝද කොරාවරුන්ගේ පුත්‍රයෝද වන ලෙවීවරු ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට ඉතා මහත් හඬකින් ප්‍රශංසා කිරීමට නැගුටුණෝය.