1 තෙසලෝනික 2:10-20

1 තෙසලෝනික 2:10-20 SROV

අදහන්නාවූ නුඹලා අතරෙහි අපි කොපමණ ශුද්ධව ධර්මිෂ්ඨව නිදොස්ව හැසුරුණෙමුද කියා නුඹලාත් දෙවියන්වහන්සෙත් සාක්ෂිකාරයෝය. එසේය, තමන්වහන්සේගේ රාජ්‍යයටත් මහිමයටත් නුඹලා කැඳවන දෙවියන්වහන්සේට ඔබිනලෙස නුඹලා හැසිරෙන හැටියට, පියෙකු තමාගේ දරුවන්ට මෙන්, අප විසින් නුඹලාට අවවාදකරමින්, ධෛර්යදෙමින්, අණ දෙමින්, නුඹලා එක් එක්කෙනාට ක්‍රියාකළ හැටි නුඹලා දනිහුය. එසේහෙයින් නුඹලා පණිවිඩයේ වචනය, එනම් දෙවියන්වහන්සේගේ වචනය අපෙන් ලැබූ කල, නුඹලා පිළිගත්තේ මනුෂ්‍යයන්ගේ වචනය නොව ඇත්තෙන්ම දෙවියන්වහන්සේගේ වචනයව තිබෙන්නාවූ, අදහන නුඹලා තුළ ක්‍රියාද කරන්නාවූ වචනය බැවින්, අපිත් නොකඩව දෙවියන්වහන්සේට ස්තුතිකරමුව. මක්නිසාද, සහෝදරයෙනි, නුඹලා ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ යුදයෙහි තිබෙන දෙවියන්වහන්සේගේ සභාවන් අනුවයන්නෝවී, ඔවුන් යුදෙව්වරුන්ගෙන් වින්ද දේවල්ම නුඹලාත් නුඹලාගේම රටවැසියන්ගෙන් වින්දහුය. ඒ යුදෙව්වරු වනාහි ස්වාමිවූ යේසුස්වහන්සේද අනාගතවක්තෘවරුන්ද මැරුවෝය, අපත් පන්නාදැම්මෝය; ඔව්හු දෙවියන්වහන්සේ ප්‍රසන්න නොකරති, සියලු මනුෂ්‍යයන්ටද විරුද්ධව සිටිති; අන්‍යජාතීන් ගැළවෙන පිණිස ඔවුන්ට කථාකිරීම අපට තහනම්කරති. මෙසේ ඔව්හු නිතරම තමුන්ගේ පව් සම්පූර්ණ කරති. උදහස තීන්දුවටම ඔවුන් කෙරෙහි පැමිණ තිබේ. නුමුත් සහෝදරයෙනි, අපි හිතෙන් නොව පෙනීමෙන් නුඹලා වෙතින් ස්වල්ප කාලයකට අහක්ව සිටිය කල, නුඹලාගේ මුහුණ දකින්ට මහත් ආශාවෙන් බොහෝ උත්සාහකළෙමුව. මක්නිසාද අපි, එනම් පාවුල් යන මම, වරක් දෙවරක් නුඹලා වෙතට එන්ට කැමතිව සිටියෙමි; නුමුත් සාතන් අපට බාධාකළේය. අපගේ බලාපොරොත්තුවත් ප්‍රීතියත් පාරට්ටුවේ ඔටුන්නත් කිමෙක්ද? අපගේ ස්වාමිවූ යේසුස්වහන්සේගේ ඊමේදී උන්වහන්සේ ඉදිරියෙහි නුඹලාම නොවේද? එසේය, නුඹලා අපේ ගෞරවයත් අපේ ප්‍රීතියත්ය.

1 තෙසලෝනික 2:10-20 සම්බන්ධව නිදහස් කියවීමේ සැලසුම් සහ පූජනීයත්වය