1 සාමුවෙල් 30:1-8

1 සාමුවෙල් 30:1-8 SROV

තවද දාවිත් හා ඔහුගේ මිනිස්සු තුන්වෙනිදා ශික්ලග්ට පැමුණුණෝය, ඊට ප්‍රථම අමලෙක්වරු දකුණු දිශාවටත් ශික්ලග්ටත් විරුද්ධව ඇවිත්, ශික්ලග්ට පහරදී, ඒක ගින්නෙන් පුලුස්සා දමා, එහි සිටි ස්ත්‍රීන්ද ලොකු කුඩා සියල්ලන්ද වාලට ගෙන, කිසිවෙකු නොමරා ඔවුන් අල්ලාගන යන්ට ගියෝය. දාවිත්ද ඔහුගේ මිනිස්සුද නුවරට පැමිණි කල, ඒක ගිනිලා තිබෙන බවත් ඔවුන්ගේ භාර්යාවන්ද පුත්‍රයන්ද දූවරුන්ද වාලට අසුවී ගිය බවත් දුටුවෝය. එවිට දාවිත්ද ඔහු සමඟ සිටි සෙනඟද ඔවුන්ට තවත් අඬන්ට පුළුවන්කම නැතිවෙන තුරුම ශබ්දනගා ඇඬුවෝය. දාවිත්ගේ භාර්යාවන් දෙදෙනා වන යෙස්‍රෙයෙලිය අහිනොවම් සහ කර්මෙලිය නාබල්ගේ භාර්යාව ව සිටි අබීගායිල්ද වාලට අසුවී ගියෝය. දාවිත් තද අමාරුවට පත්විය; මක්නිසාද මුළු සෙනඟගේ සිත් තම තමුන්ගේ පුත්‍රයන්ද දූවරුන්ද ගැන ශෝකවුණ බැවින් ඔහුට ගල්ගසන්ට සෙනඟ කථාකළෝය. නුමුත් දාවිත් තමාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ තුළ ශක්තිය උපදවාගත්තේය. ඒඵොද් සැට්ටය මා ළඟට ගෙනෙන්නැයි දාවිත් අහිමෙලෙක්ගේ පුත්‍රවූ අබියාතර් පූජකයාට කීවේය. අබියාතර් ඒඵොද් සැට්ටය දාවිත් ළඟට ගෙනාවේය. මම මේ සමුදාව ලුහුබැඳෙයම් නම් ඔවුන් කරා පැමිණෙන්ට මට පුළුවන් වේදැයි දාවිත් ස්වාමීන්වහන්සේගෙන් විචාළේය. උන්වහන්සේ ඔහුට උත්තරදෙමින්: ලුහුබැඳ යන්න. මක්නිසාද නුඹ සැබවින් ඔවුන් කරා පැමිණ නොවරදවාම සියල්ල නැවත ලබාගන්නවා ඇතැයි කීසේක.