1 සාමුවෙල් 17:1-15
1 සාමුවෙල් 17:1-15 SROV
පිලිස්තිවරු තමුන්ගේ සේනාවන් යුද්ධයට රැස්කළෝය, ඔව්හු යූදාට අයිතිවූ සොකෝහි එකතුව සොකෝටත් අසේකාටත් අතරේ එඵෙස්-දම්මීම්හි කඳවුරු බැඳගත්තෝය. සාවුල්ද ඉශ්රායෙල් මනුෂ්‍යයෝද රැස්ව ඒලා මිටියාවතේ කඳවුරු බැඳ පිලිස්තිවරුන්ට විරුද්ධව යුද්ධ පිළිවෙළින් සිටියෝය. පිලිස්තිවරු එක පැත්තක තිබුණු කන්දේද ඉශ්රායෙල්වරු අනික් පැත්තේ තිබුණු කන්දේද සිටියෝය. ඔවුන්ට අතරේ මිටියාවතක් තිබුණේය. ගාත්හි වැසියෙක්වූ ගොලියත් නම්වූ හරියන් හමාරක් උස ඇති මල්ලවයෙක් පිලිස්තිවරුන්ගේ කඳවුරෙන් පිටතට ආවේය. ඔහුගේ හිසෙහි පිත්තල තොප්පියක් තිබුණේය, ඔහු ලෝහ හැට්ටයක් පැළඳගෙන සිටියේය; සැට්ටයේ පිත්තලවල බර ෂෙකෙල් පන්දහසක්ය. ඔහුගේ පාදවල පිත්තල වැසුම් තිබුණේය, ඔහුගේ පිටිකරෙහි පිත්තලමය කුඩා හෙල්ලයක් තිබුණේය. ඔහුගේ මහ හෙල්ලයේ මිට වියන දණ්ඩට සමානය; ඔහුගේ හෙල්ලයේ තලය යකඩ ෂෙකෙල් හසියයක බරය. ඔහුගේ පලිහ ගෙනයන්නා ඔහුට පෙරටුවෙන් ගියේය. ඔහු සිට ඉශ්රායෙල් සේනාවන්ට මොරගසා: නුඹලා යුද්ධ පිළිවෙළින් සිටින්ට පිටතට එන්නේ මක්නිසාද? මම පිලිස්තියයෙක් නොවම්ද? නුඹලා සාවුල්ගේ සේවකයෝ නොවෙත්ද? මා ළඟට එන පිණිස නුඹලා වෙනුවට මනුෂ්‍යයෙකු තෝරාගන්න. මා සමඟ සටන් කොට මා මරන්ට ඔහුට පුළුවන්වුණොත්, අපි නුඹලාගේ මෙහෙකරුවෝ වන්නෙමුව. නුමුත් මා ඔහුගෙන් ජයගෙන ඔහු මැරුවොත්, නුඹලා අපේ මෙහෙකරුවන්ව අපට සේවයකරන්ට ඕනෑයයි කීවේය. තවද ඒ පිලිස්තියයා: මම ඉශ්රායෙල් සේනාවන්ට අද දවසේ මිගකියමි; මා සමඟ සටන් කරන්ට මනුෂ්‍යයෙක් දෙන්නැයි කීවේය. සාවුල්ද සියලු ඉශ්‍රායෙල්වරුන්ද පිලිස්තියයාගේ ඒ වචන අසා තැතිගෙන බොහෝසෙයින් භයපත්වූහ. දාවිත් යුදයේ බෙත්-ලෙහෙම්හි යෙස්සේ නම්වූ එප්‍රාතියයාගේ පුත්‍රයාය; යෙස්සේට පුත්‍රයන් අට දෙනෙක් වූවෝය. ඒ මනුෂ්‍යයා සාවුල්ගේ දවස්වල මහලුව මනුෂ්‍යයන් අතරේ වයස්ගතව සිටියේය. යෙස්සේගේ වැඩිමහල් පුත්‍රයන් තුන්දෙනා සාවුල් අනුව යුද්ධයට ගියෝය. යුද්ධයට ගිය ඔහුගේ පුත්‍රයන් තුන්දෙනාගේ නාම මෙසේය: කුලුඳුලා එලියාබ්ය, දෙවෙනියා අබිනාදාබ්ය, තුන්වෙනියා ෂම්මාය. දාවිත් සියල්ලන්ට බාලයාය. වැඩිමහල් තුන්දෙන සාවුල් අනුව ගියෝය. දාවිත් වනාහි බෙත්-ලෙහෙම්හි තමාගේ පියාගේ බැටළුවන් බලාගන්ට සාවුල් වෙතින් ඔබ මොබ ගියේය.

