1 සාමුවෙල් 16:1-7

1 සාමුවෙල් 16:1-7 SROV

ස්වාමීන්වහන්සේ සාමුවෙල්ට කථාකොට: මා විසින් සාවුල් ඉශ්‍රායෙල් කෙරෙහි රජකම්කිරීමෙන් පහකර තිබෙද්දී නුඹ ඔහු ගැන කොපමණ කල් ශෝකවන්නෙහිද? නුඹේ තෙල් කුලාව පුරවාගෙන යන්න, මම බෙත්-ලෙහෙමිය යෙස්සේ ළඟට නුඹ යවමි. මක්නිසාද ඔහුගේ පුත්‍රයන් අතරෙන් රජෙකු මට සපයාගත්තෙමියි කීසේක. සාමුවෙල්ද: මා යන්නේ කොහොමද? එය සාවුල්ට සැලවුණොත් ඔහු මා මරනවා ඇතැයි කීවේය. ස්වාමීන්වහන්සේ ද නුඹ වැස්සියක් ගෙනගොස්: මම ස්වාමීන්වහන්සේට පූජා කරන්ට ආවෙමියි කියන්න. යෙස්සේද පූජාවට කැඳවාගන්න, එවිට නුඹ විසින් කටයුතු දේ මම නුඹට පෙන්වන්නෙමි. මා නුඹට කියන තැනැත්තා මට ආලේපකරන්නැයි කීසේක. සාමුවෙල් ස්වාමීන්වහන්සේ කී දේ කොට බෙත්-ලෙහෙමට ආයේය. එවිට නුවර වැඩිමහල්ලෝ වෙවුලමින් ඔහු සම්මුඛවෙන්ට අවුත්: ඔබ එන්නේ සමාදානයෙන්දැයි ඇසූහ. සමාදානයෙන්ය. ස්වාමීන්වහන්සේට පූජාකරන්ට ආවෙමි. නුඹලා පවිත්‍රවී මා සමඟ පූජාවට එන්නැයි ඔහු කීවේය. ඔහු යෙස්සේද ඔහුගේ පුත්‍රයන්ද පවිත්‍රකොට පූජාවට කැඳෙවුවේය. ඔවුන් ආ කල ඔහු එලියාබ් දෙස බලා: සැබෑවටම ස්වාමීන්වහන්සේගේ අභිෂේකලත් තැනැත්තේ උන්වහන්සේ ඉදිරියෙහි සිටීයයි කියාගත්තේය. නුමුත් ස්වාමීන්වහන්සේ සාමුවෙල්ට කථාකොට: ඔහුගේ පෙනීම දෙසවත් ශරීරයේ උස දෙසවත් නොබලන්න; මක්නිසාද මම ඔහු එපාකෙළෙමි. ස්වාමීන්වහන්සේ මනුෂ්‍යයා බලන්නාක්මෙන් නොබලනසේක; මනුෂ්‍ය තෙමේ පිටාතර පෙනීම බලන්නේය, නුමුත් ස්වාමීන්වහන්සේ සිත බලනසේකැයි කීසේක.

1 සාමුවෙල් 16:1-7 සම්බන්ධව නිදහස් කියවීමේ සැලසුම් සහ පූජනීයත්වය