1 සාමුවෙල් 10:1-9

1 සාමුවෙල් 10:1-9 SROV

එවිට සාමුවෙල් තෙල් කුලාව රැගෙන සාවුල්ගේ හිසේ වත්කොට ඔහු සිඹ: ස්වාමීන්වහන්සේ තමන්ගේ උරුමය කෙරෙහි අධිපතියාකොට නුඹ ආලේපකළසේක් නොවේදැයි කීය. නුඹ අද මා ළඟින් පිටත්ව යන විට බෙන්යමින් සීමාවේ ශෙල්ශාහි තිබෙන රාඛෙල්ගේ සොහොන්පළ ළඟදී මනුෂ්‍යයන් දෙදෙනෙක් නුඹට සම්බවන්නෝය; ඔවුන් නුඹට කථාකොට–නුඹ සොයන්ට ගිය කොටළුවෝ සම්බවුණෝය. නුඹේ පියාණෝ කොටළුවන්ගේ කාරණය අත්හැර: මාගේ පුත්‍රයා ගැන මක්කරම්දැයි කියමින් නුඹලා ගැන ශෝකවන්නේයයි කියනවා ඇත. එවිට නුඹ එතැනින් තවත් දුර ගොස් තාබොර්හි අලෝන වෘක්ෂය ළඟට පැමින්නාම, එක්කෙනෙක් එළුපැටියන් තුන්දෙනෙක්ද එක්කෙනෙක් රොටි තුනක්ද එක්කෙනෙක් මුද්‍රිකපාන භාජනයක්ද රැගෙන දෙවියන්වහන්සේ ළඟට බෙතෙල්ට යන මනුෂ්‍යයන් තුන්දෙනෙක් නුඹට සම්බවන්නෝය. ඔවුන් නුඹට ආචාර කොට රොටි දෙකක් නුඹට දෙනවා ඇත; ඒවා ඔවුන් අතින් පිළිගන්න. ඊට පසුව නුඹ පිලිස්තිවරුන්ගේ මුර සමුදාව සිටින දෙවියන්වහන්සේගේ කන්දට පැමිණෙන්නෙහිය. නුඹ එහි නුවරට ඇතුල්වෙන විට ප්‍රොපේත කණ්ඩායමක් තමුන්ට පෙරටුව වීණාවක්ද රබානක් ද නලාවක්ද කුඩා වීණාවක්ද ඇතුව ධර්මවාක්‍ය පවසමින් උස් තැනින් බැස එනවා නුඹට සම්බවන්නේය. එවිට ස්වාමීන්වහන්සේගේ ආත්මය ආනුභාසම්පන්නව නුඹ කෙරෙහි බලවත් ලෙස පැමිණෙන්නේය, නුඹ ඔවුන් සමඟ ධර්මවාක්‍ය පවසමින් අන්‍යාකාර මනුෂ්‍යයෙක් වන්නෙහිය. මේ ලකුණු නුඹට පැමිණි කල නුඹ ප්‍රස්තාවේ හැටියට ක්‍රියාකරන්න; මක්නිසාද දෙවියන්වහන්සේ නුඹ සමඟ සිටිනසේක. නුඹ මට පෙරටුව ගිල්ගාල්ට යන්න; මම වනාහි දවන පූජා ඔප්පුකරන පිණිසත් ශාන්ති පූජාවල යාගයන් පූජාකරන පිණිසත් නුඹ ළඟට එන්නෙමි. මා නුඹ ළඟට ඇවිත් නුඹ කළයුතු දේ නුඹට දන්වන තුරු සත් දවසක් බලාසිටින්නැයි කීවේය. තවද ඔහු සාමුවෙල් වෙතින් යන්ට පිටිපෑ කල දෙවියන්වහන්සේ ඔහුට අමුතු සිතක් දුන්සේක. ඒ සියලු ලකුණු ඒ දවසේදී සිද්ධවුණේය.