1 පේතෘස් 4:4-11

1 පේතෘස් 4:4-11 SROV

ඔවුන් සමඟ එම අනාචාර බහුලත්වයට නුඹලා නොයන බැවින් ඔව්හු ඊට පුදුමව නුඹලාට අපහාසකරති. ඔවුන් විසින් ජීවතුන්ද මළවුන්ද විනිශ්චයකරන්ට සූදානම්ව සිටින තැනන්වහන්සේට ගණන්දෙන්ට වෙනවා ඇත. මක්නිසාද මළවුන්ට පවා ශුභාරංචිය ප්‍රකාශකරනු ලැබුවේ, ඔවුන් මනුෂ්‍යාකාරයෙන් මාංසයෙන් විනිශ්චය කරනු ලැබූ නුමුත්, දේවාකාරයෙන් ආත්මයෙන් ජීවත්වෙන පිණිසය. නුමුත් සියලු දේවල අන්තිමය ළංවී තිබේ. එබැවින් නුඹලා සිහියෙන් යුක්තව සිට, යාච්ඤාකිරීම පිණිස පිබිද සිටින්න. ඇරත් ප්‍රේමය පව් රාශියක් වසන බැවින්, සියලු දේවලට වඩා එකිනෙකා කෙරෙහි බලවත් ප්‍රේමයක් ඇතුව සිටින්න. කොඳුරන්නේ නැතුව එකිනෙකාට ආගන්තුක සත්කාර කරන්න. දෙවියන්වහන්සේගේ අනේකාකාර කරුණාවේ යහපත් ගබඩාකාරයන් මෙන් එකිනෙකාට ලැබුණු දීමනාවේ හැටියට එයින් එකිනෙකාට සේවයකරන්න. යමෙක් කථාකෙරේ නම්, දෙවියන්වහන්සේගේ වාක්‍ය වශයෙන් කථාකරාවා; යමෙක් සේවයකෙරේ නම්, දෙවියන්වහන්සේ සපයාදෙන ශක්තියේ ප්‍රකාර සේවයකරාවා. දෙවියන්වහන්සේට යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කරණකොටගෙන සියලු කාරණාවලදී ගෞරව පැමිණෙන පිණිස එසේකරන්ට ඕනෑය. මහිමයත් පරාක්‍රමයත් සදාකාලේටම උන්වහන්සේගේය. ආමෙන්.