1 රාජාවලිය 8:37-43

1 රාජාවලිය 8:37-43 SROV

දේශයෙහි සාගතයක් පැමිණෙන්ටවත් වංසගතය පැමිණෙන්ටවත් ගොයම් වියළීයාම හෝ ගොයම් රෝගය හෝ පළඟැටියන් හෝ දළඹුවන් හෝ පැමිණෙන්ටවත්; ඔවුන්ගේ දේශයේ නුවරවල ඔවුන් සිටිද්දී ඔවුන්ගේ සතුරන් විසින් ඔවුන් වටලාගන්ටවත්; මොන පීඩාවක් නුමුත් මොන රෝගයක් නුමුත් පැමිණෙන්ටවත් යෙදුණු කල්හි; කොයි යම් මනුෂ්‍යයෙකු විසින් හෝ ඔබගේ මුළු සෙනඟවූ ඉශ්‍රායෙල් විසින් හෝ තම තමුන්ගේ සිත්වල පීඩාව දැනගන මේ ගෘහය දෙසට තමුන්ගේ අත් විදහාගන යම් යාච්ඤාවක් හෝ කන්නලව්වක් හෝ ඔප්පුකළොත්, ඔබගේ වාසස්ථානය වන ස්වර්ගයෙහි සිට අසා කමාවී, ඔබ අපේ පියවරුන්ට දුන් දේශය මතුපිට ඔවුන් ජීවත්වෙන සියලු දවස්වල ඔබ කෙරෙහි භය ඇතුව සිටින පිණිස, සිත දන්නාවූ ඔබ එකිනෙකාට තම තමාගේ සියලු මාර්ගවල හැටියට ඉෂ්ටකර දුනමැනව. මක්නිසාද ඔබ පමණක්ම සියලු මනුෂ්‍ය පුත්‍රයන්ගේ සිත් දන්නාසේක. තවද ඔබගේ සෙනඟවූ ඉශ්‍රායෙල් කෙනෙක් නොවන විදේශීන් ඔබගේ උතුම් නාමය සහ බලවත් අතද දිගුකළ හස්තයද ගැන අසනවා ඇත. එසේ ඔබගේ නාමය නිසා දුර දේශයකින් ආවාවූ විදේශියෙක් මේ ගෘහය දෙසට හැරී යාච්ඤාකළොත්, ඔබගේ සෙනඟවූ ඉශ්‍රායෙල් මෙන් පොළොවේ සියලු සෙනඟ විසිනුත් ඔබගේ නාමය ඇඳිනගන ඔබ කෙරෙහි භයවන පිණිසද, මා විසින් ගොඩනැගුවාවූ මේ ගෘහයට ඔබගේ නම තබා තිබෙන බව දැනගන්න පිණිසද, ඔබගේ වාසස්ථානය වන ස්වර්ගයෙහි සිට අසා, විදේශියා ඔබට කරන මුළු කන්නලව්ව ලෙස ඔහුට කළ මැනව.