1 රාජාවලිය 3:5-13

1 රාජාවලිය 3:5-13 SROV

ගිබියොන්හිදී ස්වාමීන්වහන්සේ රාත්‍රියේ ස්වප්නයකින් සාලමොන්ට පෙනුණුසේක. තවද දෙවියන්වහන්සේ කථාකොට: මා විසින් නුඹට දිය යුතු දෙය ඉල්ලන්නැයි කීසේක. සාලමොන් කථාකොට: ඔබගේ මෙහෙකරුවූ මාගේ පියවූ දාවිත් ඔබ ඉදිරියෙහි සැබෑකමෙන්ද ධර්මිෂ්ඨකමෙන්ද ඔබ සමඟ සිතේ අවංකකමින්ද හැසුරුණු පරිද්දෙන් ඔබ ඔහුට මහත්වූ කරුණාව පෙන්වූසේක; තවද අද තිබෙන හැටියට ඔහුගේ සිංහාසනය පිට හිඳින්ට ඔහුට පුත්‍රයෙකු දීමෙන් මේ මහත් කරුණාවත් ඔබ ඔහුට දෙන්ට ඉතුරුකරගන සිටිසේක. දැනුදු මාගේ දෙවිවූ ස්වාමීන්වහන්ස, ඔබ මාගේ පියවූ දාවිත් වෙනුවට ඔබගේ මෙහෙකරුවා රජකොට පත්කළසේක. මම වනාහි කුඩා ළමයෙක්මි; පිටතට යන්ටත් ඇතුළට එන්ටත් නොදනිමි. ඔබගේ මෙහෙකරුවා වනාහි ගණන්කරන්ටවත් ගණන කියන්ටවත් බැරි තරම් මහත් සමූහයක්වූ ඔබ විසින් තෝරාගත් ඔබගේ සෙනඟ මැද සිටියි. එබැවින් ඔබගේ මේ සෙනඟ විනිශ්චය කරන පිණිස යහපත හා නපුර දැනගන්ට පුළුවන්වන ලෙස නුවණැති සිතක් ඔබගේ මෙහෙකරුවාට දුන මැනව; මක්නිසාද ඔබගේ මේ මහත් සෙනඟ විනිශ්චයකරන්ට කවරෙකුට පුළුවන්දැයි කීවේය. සාලමොන් මේ දේ ඉල්ලූ නිසා ස්වාමීන්වහන්සේ ඊට ප්‍රසන්නවූ සේක. දෙවියන්වහන්සේ කථාකොට: නුඹ දීර්ඝායුස ඉල්ලන්නේවත් ධනය ඉල්ලන්නේවත් නුඹේ සතුරන්ගේ ජීවිතය ඉල්ලන්නේවත් නැතුව විනිශ්චය තේරුම් ගැනීමට නුවණ ඉල්ලූ බැවින්, මම නුඹේ වචනය ලෙස කෙළෙමි. නුඹට සමාන කෙනෙක් නුඹට පළමුවෙන් සිටියේවත් නුඹට පසුව නැගිටින්නේවත් නැති ලෙස ප්‍රඥාවන්ත නුවණැති සිතක් නුඹට දුනිමි. ඇරත් නුඹේ සියලු දවස්වලදී රජවරුන් අතරේ නුඹට සමාන කෙනෙක් නොවන ලෙස ධනයද ගෞරවයද යන නුඹ නොඉල්ලූ දේත් නුඹට දුනිමි.

1 රාජාවලිය 3:5-13 සම්බන්ධව නිදහස් කියවීමේ සැලසුම් සහ පූජනීයත්වය