1 රාජාවලිය 22:1-28

1 රාජාවලිය 22:1-28 SROV

සිරියවරුන්ද ඉශ්‍රායෙල්වරුන්ද අතරේ තුන් අවුරුද්දක් යුද්ධ නැතුව තිබුණේය. තුන්වෙනි අවුරුද්දේ යූදාහි රජවූ යෙහෝෂාපාට් ඉශ්‍රායෙල් රජු ළඟට ආයේය. ඉශ්‍රායෙල් රජ තමාගේ සේවකයන්ට කථාකොට: රාමොත්-ගිලියද් අපට අයිති බව නුඹලා දන්නහුද? දැනගනත් අප ඒක සිරියේ රජු අතින් නොගෙන නිකම් සිටිනවා නොවේදැයි කීවේය. ඔහු යෙහෝෂාපාට්ට කථාකොට: යුද්ධයට මා සමඟ රාමොත්-ගිලියද්ට යන්නෙහිදැයි ඇසුවේය. යෙහෝෂාපාට්ද: මමත් ඔබ වාගේය, මාගේ සෙනඟත් ඔබගේ සෙනඟ වාගේය, මාගේ අශ්වයොත් ඔබගේ අශ්වයන් වාගේයයි ඉශ්‍රායෙල් රජුට කීවේය. තවද යෙහෝෂාපාට්: ස්වාමීන්වහන්සේගේ වචනයෙන් අද විභාගකළමැනවැයි ඉශ්‍රායෙල් රජුට කීය. එවිට ඉශ්‍රායෙල් රජ ප්‍රොපේතවරුන් වන හාරසියයක් පමණ මනුෂ්‍යයන් රැස්කොට: මම රාමොත්-ගිලියද්ට විරුද්ධව යුද්ධයට යම්ද නොයම්දැයි ඔවුන්ගෙන් ඇසුවේය. ඔව්හු: ගිය මැනවි; මක්නිසාද ස්වාමීන්වහන්සේ ඒක රජු අතට පාවාදෙනසේකැයි කීවෝය. නුමුත් යෙහෝෂාපාට්: අප විසින් විචාරන පිණිස මෙහි තව ස්වාමීන්වහන්සේගේ ප්‍රොපේත කෙනෙක් නැද්දැයි ඇසුවේය. ඉශ්‍රායෙල් රජද: ස්වාමීන්වහන්සේගෙන් විචාරන පිණිස ඉම්ලාගේ පුත්‍රවූ මීකායානම් තව එක්කෙනෙක් සිටියි. එහෙත් ඔහු මා ගැන අනාගත වචනයෙන් නරකක් මිස යහපතක් නොකියන නිසා මම ඔහුට වෛරවෙමියි යෙහෝෂාපාට්ට කීවේය. යෙහෝෂාපාට්ද: රජ්ජුරුවෝ එසේ නොකියත්වයි කීවේය. එකල ඉශ්‍රායෙල් රජ ඇමතියෙකුට අඬගසා: ඉම්ලාගේ පුත්‍රවූ මීකායා ඉක්මනින් ගෙන්වන්නැයි කීවේය. ඉශ්‍රායෙල් රජද යූදාහි රජවූ යෙහෝෂාපාට්ද ස්වකීය වස්ත්‍ර පැළඳගෙන සමාරිය දොරටුවේ එලිමහන් තැනක තම තමුන්ගේ සිංහාසනවල වාඩිවී උන්නෝය; සියලු ප්‍රොපේතවරු ඔවුන් ඉදිරිපිට අනාගතවාක්‍ය කීවෝය. තවද කෙනානාගේ පුත්‍රවූ ශෙදෙකියා යකඩ අං සාදාගෙන: ඔබ සිරියවරුන් නැතිකරනතුරු මේවායින් ඔවුන්ට අනිනවා ඇත කියා ස්වාමීන්වහන්සේ කියනසේකැයි කීවේය. ප්‍රොපේතවරුන් සියල්ලෝ එලෙසම අනාගතවාක්‍ය කියමින්: රාමොත්-ගිලියද්ට ගොස් ජයගත මැනවි. මක්නිසාද ස්වාමීන්වහන්සේ එය රජු අතට පාවාදෙනසේකැයි කීවෝය. මීකායා කැඳවාගන එන්ට ගිය පණිවිඩකාරයා ඔහුට කථාකොට: බලව, ප්‍රොපේතවරුන්ගේ වචන එකලෙස රජු ගැන යහපත පවසති. නුඹේ වචනයත් ඔවුන්ගෙන් එක්කෙනෙකුගේ වචනය මෙන් වෙන පිණිස යහපත කියන්නැයි කීවේය. මීකායා: ස්වාමීන්වහන්සේ ජීවමාන බව සැබෑවා සේම ස්වාමීන්වහන්සේ මට කියන දෙයම කථාකරන්නෙමියි කීවේය. ඔහු රජු ළඟට ආ කල රජු ඔහුට කථාකොට: මීකායා, අපි රාමොත්-ගිලියද්ට විරුද්ධව යුද්ධයට යමුද නොයමුදැයි ඔහුගෙන් ඇසුවේය. ඔහුද: ගොස් ජයගත මැනවි; ස්වාමීන්වහන්සේ එය රජු අතට පාවාදෙනසේකැයි උත්තරදුන්නේය. රජ: ස්වාමීන්වහන්සේගේ නාමයෙන් සැබෑව මිස වෙන කිසිවක් මට නොකියන හැටියට මම කීවරක් නුඹ දිවුරවම්දැයි ඔහුට කීවේය. එවිට ඔහු කථාකොට: සියලු ඉශ්‍රායෙල්වරුන් එඬේරෙකු නැති බැටළුවන් මෙන් කඳුවල විසර ඉන්නවා දුටුමි. තවද ස්වාමීන්වහන්සේ –මොවුන්ට ස්වාමියෙක් නැත, එක එකා තම තමාගේ ගෙදරට සමාදානයෙන් හැරී යේවයි කියා කීසේකැයි කීවේය. ඉශ්‍රායෙල් රජ: ඔහු මා ගැන අනාගතවාක්‍යයෙන් නරකක් මිස යහපතක් කියන්නේ නැත කියා මම ඔබට නොකීයෙම්දැයි යෙහෝෂාපාට්ට කීවේය. මීකායා කථාකොට: එබැවින් ඔබ ස්වාමීන්වහන්සේගේ වචනය ඇසුව මැනවි. ස්වාමීන්වහන්සේ තමන්ගේ සිංහාසනයේ හිඳිනවාත් මුළු ස්වර්ග සේනාව උන්වහන්සේ ළඟ උන්වහන්සේගේ දකුණු පැත්තේද වම්පැත්තේද සිටිනවාත් දුටුමි. ස්වාමීන්වහන්සේ කථාකොට–ආහබ් රාමොත්-ගිලියද්ට ගොස් එහිදී වැටෙන පිණිස එහි යන්ට ඔහු පොළඹවන්නේ කවුදැයි ඇසූසේක. එක්කෙනෙක් මේ ආකාරද එක්කෙනෙක් ඒ ආකාරද කීවේය. එකල ආත්මයෙක් නික්ම ඇවිත් ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි සිට–මම ඔහු පොළඹවන්නෙමියි කීවේය. ස්වාමීන්වහන්සේ –කුමකින්දැයි ඔහුගෙන් ඇසූසේක. ඔහු–මම ගොස් ඔහුගේ සියලු ප්‍රොපේතවරුන්ගේ මුඛවල බොරුකාර ආත්මයක් වන්නෙමියි කීවේය. උන්වහන්සේද නුඹ ඔහු පොළඹවා ජයගන්නවා ඇත. ගොස් එසේ කරන්නැයි කීසේක. එබැවින් ස්වාමීන්වහන්සේ ඔබගේ මේ සියලු ප්‍රොපේතවරුන්ගේ මුඛවල බොරුකාර ආත්මයක් තැබූසේක; තවද ස්වාමීන්වහන්සේ ඔබ ගැන නපුරක් කථාකළසේකැයි කීවේය. එවිට කෙනානාගේ පුත්‍රවූ ශෙදෙකිය ළංවී මීකායාගේ කන්මුලට ගසා: ස්වාමීන්වහන්සේගේ ආත්මය නුඹට කථාකරන්ට මා කෙරෙන් ගියේ කොයි මාර්ගයෙන්දැයි ඇසුවේය. එවිට මීකායා: නුඹ සැඟවෙන පිණිස ඇතුල්ගෙයකට යන දවසෙහි දැනගන්නෙහියයි කීවේය. ඉශ්‍රායෙල් රජ: නුඹ මීකායා රැගෙන නුවර අධිපතියාවූ ආමොන්ද රජුගේ පුත්‍රවූ යෝවාෂ්ද ළඟට ගෙන ගොස් කථාකොට: නුඹලා මොහු හිරගෙයි ලා මා සමාදානයෙන් එනතුරු මොහුට දුක් සහිත කෑමද දුක් සහිත වතුරද දෙන්නැයි රජු කියන්නේය කියා කියන්නැයි කීවේය. මීකායාද: ඔබ ඇත්තටම සමාදානයෙන් හැරී ආවොත්, ස්වාමීන්වහන්සේ මා ලවා කථාකෙරෙවුවේ නැත. ජනයිනි, නුඹලා සියල්ලෝම අසන්නැයි කීවේය.