1 රාජාවලිය 20:1-12
1 රාජාවලිය 20:1-12 SROV
තවද සිරියේ රජවූ බෙන්-හදද් තමාගේ මුළු සේනාව රැස්කරගන තවත් රජවරුන් තිස්දෙදෙනෙක්ද අශ්වයන්ද රථද ඇතුව ඇවිත් සමාරිය වටලාගන ඊට විරුද්ධව යුද්ධකෙළේය. ඔහු නුවරට, ඉශ්‍රායෙල් රජවූ ආහබ් වෙතට, පණිවිඩකාරයන් යවමින්: නුඹේ රන් රිදී මාගේය; නුඹේ භාර්යාවරුන්ගෙන්ද දරුවන්ගෙන්ද ඉතා ශෝභන අයත් මාගේය කියා බෙන්-හදද් කියන්නේයයි ඔහුට කියා ඇරියේය. ඉශ්‍රායෙල් රජද: මාගේ ස්වාමිවූ රජ්ජුරුවෙනි, ඔබගේ කීම ප්‍රකාරයට මමත් මට ඇති සියල්ලත් ඔබගේයයි උත්තරදුන්නේය. පණිවිඩකාරයෝ නැවත ඇවිත් කථාකොට: බෙන්-හදද් මෙසේ කියන්නේය–නුඹේ රන් රිදීද නුඹේ අඹු දරුවන්ද නුඹ මට දෙන්ට ඕනෑයයි නුඹට කියා එවමි; ඇරත් හෙට මේ වේලාවට පමණ මාගේ සේවකයන් නුඹ ළඟට එවන්නෙමි, ඔවුන් නුඹේ ගේත් නුඹේ සේවකයන්ගේ ගෙවලුත් සෝදිසිකර, නුඹට ප්‍රසන්නවූ සියල්ලම ඔවුන්ගේ අතට ගෙන එනවා ඇත කියා බෙන්-හදද් කියන්නේයයි කීවෝය. එවිට ඉශ්‍රායෙල් රජ දේශයේ සියලු වැඩිමහල්ලන් කැඳවා: මේ මනුෂ්‍යයා නපුරක් සොයන හැටි කල්පනාකර බලන්න. ඔහු මාගේ භාර්යාවන්ද මාගේ දරුවන්ද මාගේ රන් රිදීද මාගෙන් ඉල්ලා එවූ විට, දෙන්ට බැරිය කියා මම නොකීවෙමියි කීවේය. සියලු වැඩිමහල්ලෝද මුළු සෙනඟද කථාකොට: ඔබ ඇහුම්කන් නුදුන මැනවි, ඊට එකඟනූන මැනවියි ඔහුට කීවේය. එබැවින් ඔහු බෙන්-හදද්ගේ පණිවිඩකාරයන්ට කථාකොට: ඔබ පළමුවෙන් ඔබගේ මෙහෙකරුවාට කියා එවූ සියල්ලම කරන්නෙමි. නුමුත් මේ දේ මට කරන්ට බැරිය කියා මාගේ ස්වාමිවූ රජ්ජුරුවන්ට කියන්නැයි කීවේය. පණිවිඩකාරයෝ පිටත්ව ගොස් ඔහුට උත්තරය කීවෝය. බෙන්-හදද්ද: සමාරියේ ධූලි මා අනුව එන සියල්ලන්ගෙන් එක එකාට මිට මිට බැගින් ගන්ටවත් මදිවෙන තරම් මහත්වූ සෙනඟක් නාවොත් දෙවිවරු මටත් එසේමද ඊටත් වැඩියෙන්ද කෙරෙත්වයි ඔහුට කියා ඇරියේය. ඉශ්‍රායෙල් රජ උත්තරදෙමින්: යුද්ධායුධ ගළවා දමන්නා මෙන් ඒවා පැළඳගන්නා ගරුකම් නොකියාවයි ඔහුට කියන්නැයි කීවේය. රජුන් සමඟ කුඩාරම්වල බොමින් සිටියාවූ බෙන්-හදද් තෙමේ ඒ කීම ඇසූ විට: යුද්ධයට සැරසෙන්නැයි තමාගේ සේවකයන්ට කීවේය. ඔව්හුද නුවරට විරුද්ධව සැරසී සිටගත්තෝය.

