1 රාජාවලිය 19:8-18

1 රාජාවලිය 19:8-18 SROV

ඔහු නැගිට කා බී, ඒ කෑමේ සවියෙන් දවල් සතළිසක්ද රෑ සතළිසක්ද ගොස්, දෙවියන්වහන්සේගේ කන්දවූ හොරෙබ් ළඟට පැමිණ, එහි ගුහාවකට ඇතුල්ව නවාතැන් ගත්තේය; ස්වාමීන්වහන්සේගේ වචනයද ඔහු වෙතට පැමිණියේය, උන්වහන්සේ ඔහුට කථාකොට: එලියා, නුඹ මෙහි මක්කරනවාදැයි ඔහුගෙන් ඇසූසේක. ඔහුද: මම සේනාවල දෙවිවූ ස්වාමීන්වහන්සේ උදෙසා බොහෝ ජ්වලිතව සිටියෙමි; කුමක්හෙයින්ද ඉශ්‍රායෙල් පුත්‍රයෝ ඔබගේ ගිවිසුම අත්හැර, ඔබගේ පූජාසන කඩාදමා, ඔබගේ ප්‍රොපේතවරුන්ද කඩුවෙන් මැරුවෝය. ඉතුරුව සිටින්නේ මම පමණක්ය; ඔව්හු මාගේ ප්‍රාණයත් නැතිකරන්ට සොයතියි කීවේය. උන්වහන්සේද: පිටතට ඇවිත්, කන්ද උඩ ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි සිටින්නැයි කීසේක. එවිට ස්වාමීන්වහන්සේ ඒ ළඟින් ගියසේක, ස්වාමීන්වහන්සේට පෙරටුවෙන් මහත්වූ බලවත්වූ හුළඟක් කඳු දෙදරවා පර්වත බිඳගෙන ගියේය; එහෙත් ස්වාමීන්වහන්සේ හුළඟෙහි නොවූසේක. හුළඟට පසු පොළෝකම්පාවක් විය; එහෙත් ස්වාමීන්වහන්සේ පොළෝකම්පාවෙහි නොවූසේක. පොළෝකම්පාවට පසු ගින්නක් විය; එහෙත් ස්වාමීන්වහන්සේ ගින්නෙහි නොවූසේක. ගින්නට පසු සියුම් නිශ්චලතාවේ හඬක්විය. එලියා ඒ අසා තමාගේ මුහුණ සළුවෙන් වසාගෙන පිටත්ව ගොස් ගුහාවේ දොරකඩ සිටියේය. එවිට හඬක් ඔහු වෙතට පැමිණ: එලියා, නුඹ මෙහි මක්කරනවාදැයි ඇසුවේය. ඔහුද: මම සේනාවල දෙවිවූ ස්වාමීන්වහන්සේ උදෙසා බොහෝ ජ්වලිතව සිටියෙමි; කුමක් හෙයින්ද ඉශ්‍රායෙල් පුත්‍රයෝ ඔබගේ ගිවිසුම අත්හැර, ඔබගේ පූජාසන කඩාදමා, ඔබගේ ප්‍රොපේතවරුන් කඩුවෙන් මැරුවෝය; ඉතුරුව සිටින්නේ මම පමණක්ය; මාගේ ප්‍රාණයත් නැතිකරන්ට ඔව්හු සොයතියි කීවේය. ස්වාමීන්වහන්සේ ඔහුට කථාකොට: යන්න, නුඹ දමස්කයේ කාන්තාර මාර්ගයෙන් හැරී එන විට හසායෙල් සිරිය රට කෙරෙහි රජකමට ආලේපකරන්න. නිම්ෂිගේ පුත්‍රවූ යේහු ඉශ්‍රායෙල් කෙරෙහි රජකමට ආලේපකරන්න. ආබෙල්-මෙහොලාහි ෂාපාත්ගේ පුත්‍රවූ එලිෂා නුඹ වෙනුවට අනාගතවක්තෘකමට ආලේපකරන්න. හසායෙල්ගේ කඩුවෙන් ගැළවෙන අය යේහු මරන්නේය. යේහුගේ කඩුවෙන් ගැළවෙන අය එලිෂා මරන්නේය. එසේ වුවත් බාල්ට නොනැමූ දණද ඔහු නොසිම්බාවූ මුඛද ඇති සියල්ලන් වන සත්දහස් දෙනෙක් ඉශ්‍රායෙල්වරුන් අතරෙහි ඉතුරුකරගන්නෙමියි ඔහුට කීසේක.