1 රාජාවලිය 18:1-18
1 රාජාවලිය 18:1-18 SROV
තවද බොහෝ දවසකට පසු තුන්වෙනි අවුරුද්දේදී ස්වාමීන්වහන්සේගේ වචනය එලියා වෙතට පැමිණ: නුඹ ගොස් ආහබ්ට පෙනීසිටිනු; මම භූමිය පිටට වැස්ස එවන්නෙමියි කීසේක. එලියා ආහබ්ට පෙනෙන්ට ගියේය. සාගතය සමාරියෙහි බලවත්ව තිබුණේය. ආහබ් ගෙදර ප්රධානියාවූ ඔබදියාට අඬගැසුවේය. (ඔබදියා වනාහි ස්වාමීන්වහන්සේ කෙරෙහි බොහෝසෙයින් භය ඇති කෙනෙක්ය. මක්නිසාද යෙසෙබෙල් ස්වාමීන්වහන්සේගේ ප්රොපේතවරුන් සිඳදැමූ කල්හි ඔබදියා ප්රොපේතවරුන් සිය දෙනෙක් රැගෙන ගොස් පනස පනස බැගින් ඔවුන් ගුහාවල සඟවා ආහාර සහ වතුර දී ඔවුන් පෝෂ්යයකෙළේය.) ආහබ් ඔබදියාට කථාකොට: දේශයෙහි සියලු දිය උල්පත්ද ඔයවල්ද ළඟට යන්න. සියලු සිවුපාවුන් නැතිවෙන්ට නොදී අශ්වයන්ද අශ්වතරයන්ද රක්ෂාකරගන්න පිණිස සමහරවිට අපට තෘණ සම්බවේයයි කීවේය. මෙසේ දේශය මුළුල්ලේ යන පිණිස ඔවුන් ඒක බෙදාගන ආහබ් එක මාර්ගයකින් වෙනම ගියේය, ඔබදියා වෙන්ව වෙන මාර්ගයකින් ගියේය. ඔබදියා යද්දී එලියා ඔහුට සම්බ විය. ඔබදියා ඔහු ඇඳින මුහුනින් වැටී: මාගේ ස්වාමිවූ එලියා ඔබදැයි කීයේය. ඔහුද: ඒ මමය. එලියා මෙහි ඉන්නවාය කියා නුඹ ගොස් නුඹේ ස්වාමියාට කියන්නැයි ඔහුට කීවේය. එවිට ඔහු කථාකොට: ඔබගේ මෙහෙකරුවූ මා මරන පිණිස ආහබ්ගේ අතට පාවාදීමට මම මොන පාපයක් කෙළම්ද? ඔබගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ජීවමාන බව සැබෑවා සේම ඔබ සොයන පිණිස මාගේ ස්වාමියා විසින් මිනිසුන් නොහැරිය ජාතියක්වත් රාජ්යයක්වත් නැත. ඔහු මෙහි නැත කියා ඔවුන් කී කල ඔබ ඔවුන්ට සම්බනූණු බවට ඔහු ඒ රාජ්ය වලිනුත් ජාතීන්ගෙනුත් දිවුරුම් ගත්තේය. එහෙත්: එලියා මෙහි ඉන්නේය කියා ගොස් නුඹේ ස්වාමියාට කියන්නැයි ඔබ කියන්නෙහිය. තවද මා ඔබ වෙතින් අහක්ව ගිය වහාම ස්වාමීන්වහන්සේගේ ආත්මය මා නොදන්නා තැනකට ඔබ ගෙනයනවා ඇත; මා ගොස් ආහබ්ට කී කල ඔහුට ඔබ සම්බ නොවන නිසා මා මරනවා ඇත. එහෙත් ඔබගේ මෙහෙකරුවූ මම බාලවයසේ පටන් ස්වාමීන්වහන්සේ කෙරෙහි භය ඇතුව සිටිමි. යෙසෙබෙල් ස්වාමීන්වහන්සේගේ ප්රොපේතවරුන් මරාදමන කල මා කළ දේ එනම් ස්වාමීන්වහන්සේගේ ප්රොපේතවරුන්ගෙන් සිය දෙනෙකු පනස පනස බැගින් ගුහාවල සඟවා රොටිත් වතුරත් දී ඔවුන් පෝෂ්යකළ හැටි මාගේ ස්වාමියාට නොකියන ලද්දේද? දැනුදු: එලියා මෙහි ඉන්නේය කියා නුඹ ගොස් නුඹේ ස්වාමියාට කියන්නැයි ඔබ කියන්නෙහිය. ඔහු මා මරනවා ඇතැයි කීවේය. එලියාද: මා සේවයකරන සේනාවල ස්වාමීන්වහන්සේ ජීවමාන බව සැබෑවා සේම මම ඒකාන්තයෙන් ඔහුට පෙනෙන්නෙමියි කීවේය. එවිට ඔබදියා ආහබ් සම්බවෙන්ට ගොස් ඔහුට දැන්නුවේය. ආහබ් එලියා සම්බවෙන්නට ගියේය. තවද ආහබ් එලියා දුටු විට ඔහුට කථාකොට: ඉශ්රායෙල් කලඹන තැනැත්තේ නුඹදැයි ඔහුට කීවේය. ඔහුද: මා නොව නුඹ සහ නුඹේ පියාගේ වංශය ස්වාමීන්වහන්සේගේ ආඥා අත්හැර බාල් දේවතාවන් පස්සේ ගිය කාරණයෙන් නුඹලා ඉශ්රායෙල් කැලඹුවහුය.

